නව විධ ආගාධ වස්තු

අගෝස්තු 2011 කතු වැකිය

නව විධ ආගාධ වස්තු

සටහනේ අන්තර්ගතය

බහුතරයක් පුද්ගලයන් අතර බහුලව දක්නට ලැබෙන සැබෑ සතුටට බාධාවක් වන කරුණු කීපයක් පිළිබඳව ඉතාමත් කෙටියෙන් පෙන්වා දෙන්නට මෙවර කතු වැකිය වෙන් වනවා.

මහා ප්‍රාඥයන් වහන්සේ විසින් පෙන්වා දුන්නා නව විධ ආගාධ වස්තු කියලා කරුණු කාරණා කීපයක්.  ඒවාට ආගාධ වස්තු කියලා කිව්වේ ආගම්, ජාති, කුලමල, තත්ව තානාන්තර භේදයක් නැතිවම යම් පුද්ගලයෙකුට ආගාධයකට පත්කරන්නට හැකි විනාශයක් ලගා කරදෙන්නට හැකි හේතු කාරණා සමූහයක් නිසාමයි.

ඉතින් සැබෑ මිනිසුන් ලෙසින් මේ වෙබ් අඩවිය වටා එක් රොක් වූ ඔබ සැමට මෙම වැදගත් කරුණ යහපත උදාකරගැනීමට උපකාර වේ යැයි සිතමි.

මොනවද මේ ආගාධ වස්තු ලෙසින් පෙන්වූ කරුණු 9 කියලා මුලින්ම බලමුකෝ...

  1. මොහු හෝ ‍මොවුන් මට අවැඩක් කළා යැයි හිත දූෂ්‍ය කර ගැනීම
  2. මොහු හෝ මොවුන් දැන් මට අවැඩ කරයි කියා හිත දූෂ්‍ය කර ගැනීම
  3. මොහු හෝ මොවුන් මට මතු අවැඩ කල හැකියි කියා හිත දූෂ්‍ය කරගැනීම
  4. මොහු හෝ මොවුන් මගේ හිතවතාට ඇවැඩක් කළා යැයි හිත දූෂ්‍ය කරගැනීම
  5. මොහු හෝ මොවුන් මගේ හිතවතාට දැන් අවැඩ කරයි කියා හිත දූෂ්‍ය කර ගැනීම
  6. මොහු හෝ මොවුන් මගේ හිතවතාට මතු අවැඩ කල හැකියි කියා හිත දූෂ්‍ය කරගැනීම
  7. මොහු හෝ මොවුන් මගේ හතුරාට හොඳ වැඩක් කළා යැයි හිත දූෂ්‍ය කර ගැනීම
  8. මොහු හෝ මොවුන් මගේ හතුරාට හොඳ වැඩ කරයි කියා හිත දූෂ්‍ය කර ගැනීම
  9. මොහු හෝ මොවුන් මගේ හතුරාට මතු හොඳ වැඩක් කළ හැකියි හිත දූෂ්‍ය කරගැනීම

නව විධ ආගාධ වස්තු කියලා අප මහා මනෝ විද්‍යාඥයාණන්වහන්සේ විසින් පෙන්වා දුන්නේ මෙන්න මේ කරුණු නවයයි.  අපිව විනාශයට පත්කරන අපව අගාධයකට පත්කරන්නට හැකි කරුණු 9ක් තමයි මේ තියෙන්නේ කියලා බුද්ධිමත් ඔබටම වැටහෙනවා ඇතිනේ. 

ඉතින් අප අතර මෙම ආගාධ වස්තු පිරිවරාගත් පිරිස බොහෝමයක් සිටිනවා.  වැදගත් වන්නේ ඔබතුල මේ කරුණු කොතරම් පමණින් යෙදෙනවාදැයි විමසා බැලීමමයි.  ඔබට තරහා යන්නට ද්වේශයක් ක්‍රෝධයක් එන්නට හේතුවන්නේ මේ කරුණු නේදැයි නුවණින් විමසා බලන්න. 

ඉතින් මේවායෙන් හිත දූෂ්‍ය කරගත්ත පුද්ගලයා හැම තිස්සේම ඉන්නේ සැකයෙන්, භයෙන්, දුකෙන්, අසහනයෙන්... හැම තිස්සේම අන් අය සමඟ ගැටෙන්නට තමයි බලන්නේ... හැම තිස්සේම උත්සාහ කරන්නේ අන් අය තමන්ට හෝ තමන් කැමැත්තෙන් බැඳී ඇසුරු කරන සත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තුවකට හෝ අවැඩක් අසාධාරණයක් කරනවා කියලා සිතමින් ගැටෙන්නට... ඉන් නතර නොවී තමන්ගේ හතුරාට තමන් අකමැති පුද්ගලයා සමඟ එකතු වෙලා ඔවුන්ට හොඳක් කරනවා කියලා සිතා සිතා ගැටෙනවා... ඉතින් කොයින්ද සහනයක්?

මෙලෙස සිතමින් සිත දූෂ්‍ය කරගන්නා පුද්ගලයා අගාධයට පත්වී විනාශ වීම අහන්නත් දෙයක්ද? නේද?  ශරීර සෞඛ්‍ය මෙන්ම ධනයෙන්ද පිරිහීමට පත්වෙනවා... අසහනයෙන් මිරිකෙමින් අන්ත දුකට පත්වෙනවා පමණක් නොවේ මරණින් මතුද දුගතියටම පත්වෙලා දුකට පත්වෙනවා.

ඉතින් යමෙකුට අංශු මාත්‍ර හෝ බුද්ධි මට්ටමක් වේ නම් මේ පුංචි සටහන ඇති නුවණින් විමසා මේවායෙන් තම තමන්ට සිදුවන අවැඩ හඳුනාගෙන ඒවායෙන් මිදෙන්නට... හැකිතාක් මිදී සිටීමට උත්සාහ කිරීම නුවණැත්තාගේ වගකීමකි.

ඔබේ ආගම, ජාතිය, කුලමල, තත්ව තානාන්තරය කුමක් වුවත් මේ කියන කරුණු 9 ඔබ තුල තිබෙන තාක් ඔබට සහනයක් ලැබෙනවාද අසහනයක් ලැබෙනවාද යන්න හොදින් විමසා සිතා බලා පිලිතුරු ලබාගන්නට උත්සාහ කර යහපත උදාකරගැනීමට ඔබට හැකියාවක් තිබෙනවා. ඔබේ යහපත තමයි ඔබ විශ්වාස කරන දෙවියන්ගේ, ශාස්තෘවරයාගේත් එකම බලාපොරොත්තුව... ඔවුන් ඔබ වෙනුවෙන් ආගමක් දහමක් පෙන්වා දෙමින් නොයෙක් අයුරින් ඔබට නොයෙක් කරුණු පෙන්වා දී තිබෙන්නේ ඔබේම යහපත පිණිස බව වටහාගෙන ඔබේ යහපත උදාකරගැනීමට විවෘතව විමසා නුවණින් කටයුතු කිරීම ඔබගේ වගකීමකි.

ඔබත් නුවණැත්තෙක් සේ තමන් තුල ඇති මෙම ආගාධයට හේතුවන කරුණු හඳුනාගෙන එයින් මිදී තමාව අනන්ත දුකෙන් මුදවාගන්නට තමන්ගේ ගැලවුම්කාරයා වීමට සිත, කය, වචනය මෙහයවන්නට කටයුතු කරගන්න.  ඒ වෙනුවෙන් ඔබට ලැබිය යුතු සියලු යහපත් ආශිර්වාදයන් ලැබේවා!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා