පළමුව තමන්වම විමසා බැලිය යුතුය!

සැප්තැම්බර් 2014 කතු වැකිය

පළමුව තමන්වම විමසා බැලිය යුතුය!

සටහනේ අන්තර්ගතය

පහුගිය කතු වැකියේ අප විසින් විමසන්නට යෙදුන තවත් කෙනෙකුට චෝදනා කරන්නට මත්තෙන් ප්‍රඥාවන්තව විමසා බැලිය යුතු කරුණු වලට අදාල තවත් කරුණු කීපයක් මෙසේ එකතු කරමි.

ඉතින් කෙටියෙන්ම කියනවා නම් මෙම ගුණයන් 5 තමන් තුල තිබේදැයි විමර්ශනය කරන පුද්ගලයා තුල අනුන්ට චෝදනා කරන්නට මත්තෙන්

  1. නොගැලපෙන කාලයකදී නොව නිසි කාලයේදීමදැයි මේ චෝදනාව කරන්නේ යන්න විමර්ශනය කර බැලීමක්...

  2. අභූත චෝදනාවක් කරනවාදැයි විමර්ශණය කර බැලීමක්...

  3. පරුෂ වචනයෙන් නොව මෘදු වචනයෙන්ම කරනවාදැයි විමර්ශණය කර බැලීමක්...

  4. අර්ථ විරහිතව නොව අර්ථ සහිතවම පවසනවාදැයි විමර්ශණය කර බැලීමක්...

  5. දුෂ්ඨ සිතින් තොරව මෛත්‍රී සහගත සිතින්ම කියනවාදැයි විමර්ශනය කර බැලීමක් තිබිය යුතුය.

මින්පසුව ගිහි පැවදි භේදයක් නැතිව අන් කවරෙකුට හෝ චෝදනා කිරීමට මත්තෙන් මෙම කරුණු තමන්ගේ ආධ්‍යාත්මයෙහි... තමන් තුල පවතිනවාදැයි ප්‍රඥාවන්තව විමර්ශණය කර බැලීම ඉතාමත් වැදගත් කරුණකි. 

අංගුත්තර නිකාය 6 < ඡට්ඨ භාග < දසක නිපාතය < 1.5 අක්කොස වග්ගය < 4. කුසිනාරා සූත්‍රය දේශනාවේම දක්වා ඇති මේ කරුණු වලට අනුව පැහැදිලි කරගත හැකි ඉතාමත් වැදගත් කරුණක්ද සිහිපත් කිරීමට කැමැත්තෙමි. 

ඉහත ගුණාංගයන්ට අනුව සත්ධර්මය සම්බන්ධයෙන් හෝ නිවීමට බාධාවක් වන්නාවූ නොගැලපෙන ක්‍රියාපටිපාටියක් සම්බන්ධයෙන් හෝ අන් අයෙකුට චෝදනාවක් නැගිය හැක්කේ අරිහත් තත්වයට පත්වූ අරිහතුන්වහන්සේ කෙනෙකුටම පමණකි.  මන්ද ඉහත ගුණාංගයන් පරිපූර්ණව නිසි සේ පවතින්නේ අරිහත්වයට පත්වූ උත්තමයන් වහන්සේ කෙනෙකු තුල පමණි.  

ඉන් මෙහා මාර්ගඵල ලාබී මට්ටමක පුද්ගලයෙකු වුවද මෛත්‍රී චිත්තය තුල දෝස / අඩුපාඩු තිබිය හැකියි... සමහර සත්ධර්ම කරුණු තුල දෝස / අඩුපාඩු තිබිය හැකියි... විනය පරිපූර්ණ වන්නේද නිවන් අවබෝධය පූර්ණ වූ විටදීය.

එම නිසා තමන් තුල පරිපූර්ණත්වයක් ඇතිකරගැනීම උපරිමයෙන් වෙහෙස වෙමින් සිහියෙන් නුවණින් වීර්යෙන් යුතුව තමන්ට අවබෝධ වන්නාවූ යම් ධර්මයක් වේ නම් මෙත් සිතින් යුතුව අන් අය සමඟ කැමැත්තේ නම් බෙදා ගනිමින්... කිසිවෙකුටත් චෝදනා කිරීමට මත්තෙන් වරක් දෙවරක් නොව සියදහස් වාරයක් තමන්ගේ පරිපූර්ණත්වයම විමසා බලමින් ප්‍රඥාවන්තව නිවීම සැනසීම උදාකරගැනීම පිණිස කටයුතු කරගන්නට ඔබ සැමටම තෙරුවණේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා!!!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා