ගවේෂණය කුමක් පිණිසද?

අප්‍රේල් 2013 කතු වැකිය

ගවේෂණය කුමක් පිණිසද?

සටහනේ අන්තර්ගතය

ඉතින් පෙර කතුවැකියේ පැවසූ පරිදි ගවේෂණය කරන්නේ තර්ක වාද කරලා ලෝකේට පේන්න ධර්ම ලොක්කෝ වෙන්න නම් ඒ තුලින් තවත් කෙනෙක් වැරදියි කියලා ඔප්පු කරන්න නම් එයින් ලැබෙන යහපතක් ඇත්තේ නෑ කියලා මගේ විශ්වාසයක් තියෙනවා. ඒ පිළිබඳව වැඩිදුර විමසන්න මෙවර කතුවැකිය යොමුවෙනවා.

ගවේෂණය නිසි පරිදි සිදුකරගෙන වෙනස අත්දැකීමෙන් ලබන්නට නම් බුදු හිමියන් දේශනා කරන ලද සත්ධර්මය තුලම හැසිරෙමින් තම තමන්ට අවංක වෙමින් කටයුතු කිරීම වැදගත් වෙනවා.  එවිට මේ ධර්මය තුලින් ලැබෙන දෑ බොහෝමයි කියලා තමන්ටම අත්දැක ගන්නට හැකිවේවි. 

එකපාරම එක එක පුද්ගලයන් ගැන අහන දකින දෑ ගැන නිගමනයන්ට පත්වෙන්නට යොමුවීම සුදුසු නෑ... එයින් අවාසිය තමන්ටමයි... තමන් යමකට අකමැති නම් එයින් පෞද්ගලිකව ඉවත් වී සිටින්න ඒ පිළිබදව තමන්ගේ පෞද්ගලික මතය තුලින් අදහස් උදහස් ලබාදෙමින් අන් අයවත් කුපිත කරවමින් විවේචනයන්ට යොමුවීම ධර්ම මාර්ගයේ වැඩීමට මහා බාධකයක් වේවි. 

"මම තාම අරිහත්වයට පත්වෙලා නෑනේ" කියන අදහස නිතර නිතර සිහි කරගෙන ඒ තත්වයට ලංවෙන්නට සත්ධර්ම ඇසුර ලබන්න... මේ ලෝකය තවමත් අරිහතුන්වහන්සේලාගෙන් ආර්ය උත්තමයන් වහන්සේලාගෙන් බහුල පින්බිමක්... උන්වහන්සේලා ඒ ඒ මට්ටම් වලින් කුමන ආකාරයෙන් ධර්මය දේශනා කලත් මතු වන්නේ එකම ධර්මය තමයි....

ඉතින් ඒ එකම ධර්මය විස්තර කරන්න විග්‍රහ කරන්න යොදාගන්න පදයන් වෙනස් වුණා කියලා ඒ ධර්මය අධර්මයක් කියනවා නම් ඒ අනුව ගැටෙනවා නම් ඒ ඒ උත්තමයන්ට ගරහනවා නම් තමන් හරියි කියලා හිතාගෙන ඉන්න ධර්මයෙන් වුණත් තමන්ට ලැබෙන සැනසීමක් යහපත් අභිවෘද්ධියක් ප්‍රතිඵලයක් නෑ කියලා නිතර සිහි තබාගැනීම වැදගත් වෙනවා. 

අරිහතුන්වහන්සේ කෙනෙක් වැඩියත් තමන් ඉන්න රාමුව පුංචි නම්, ඒ රාමුවට උන්වහන්සේ ගැලපෙන්නේ නැතිනම් උන්වහන්සේගෙන් තමන්ට ලබාගත හැකි වැඩි යහපතක් නැති බව තම තම නිවන කැමැත්තෝ හොදින් නුවණින් විමසා දැක දැන වටහාගන්නට උත්සාහ ගනිත්වා.  තම තමන්ගේ පෞද්ගලික කැමැත්ත අකමැත්ත මතින් සිත කය වචනය හසුරුවා කටයුතු කරන විට ඒ තුලින් අයහපතක් සිද්ධ කරගන්න පිරිසත් වැඩිවෙනවා. 

නෙලුම් හැදෙන්නේ මඩේමයි... මඩෙන්මයි පෝෂණය වෙන්නෙත්... නෙලුම කිව්වොත් මට මඩ වල ඉන්න බෑ... මට වෙනතැනක හැදෙන්න ඕන කියලා ඒක නෙලුමක් වෙන්නේ නෑ වගේම ඒකට අපි ලබාදෙන විශේෂත්වය ගෞරවය ඒ විදියට ලබාදෙන්නෙත් නෑ... අන්න ඒ නෙලුම වගේ මේ කුණු ගොඩේම ඉදලා කුණු ගාගන්නේ නැති මානසිකත්වයක් ඇති කරගන්නට තමයි බුදු හිමියන් අපට මාර්ගයක් පෙන්වා දුන්නේ... ඒකට කුණු වලිනුත් සහාය උපකාර ලබාගත යුතු වෙනවා...

ඒ නිසා පිදිය යුත්තන් පුදමින් ලබාදිය යුතු ගෞරවය හැමවිටම සමසේ  ලබාදෙන්නට උත්සාහ කරමින් තමන්ගේ නිවීම පිණිස කටයුතු කරගන්න එක අප්‍රමාදී බවට ප්‍රඥාව පූර්ණය කරගන්නට වඩාත්ම සුදුසු ක්‍රමය කියලයි මගේ අදහස...  

ප්‍රඥාවන්තව විමසා යහපත උදාකරගනිත්වා!