පිස්සාගේ පලා මල්ල!

ජූනි 2014 කතු වැකිය

පිස්සාගේ පලා මල්ල!

සටහනේ අන්තර්ගතය

“සබ්බේ පෘතග්ජනා උම්මන්තකා” - සියලු පෘතග්ජනයෝ උම්මන්තකයෝ යැයි පවසන බුදු වදන පිළිබඳව කෙටියෙන් නමුත් ගැඹුරු විග්‍රහයක් කරගන්නට මෙවර කතු වැකිය යොමුවේ.

පිස්සො දැකලා තියෙනවද? අර ලොකු බෑග් එකකට නොයෙක් ජාතියේ ටින් කෑලි, ඇඳුම්, කොල කැබලි ආදී එකී නොකී මෙකී දෑ දාගෙන පොදියක් බැඳගෙන කරගහගෙන යන්නේ. දැකලා තියෙනවා නේද? මේ පිස්සු අය කරන්නේ ඒ අයට විවේකයක් අවස්ථාවක් ලැබුණ ගමන් මේ පොදිය තැනක තියාගෙන ලිහාගන්න එකයි.

ඊට පස්සේ ඒ පොදිය නැවත නැවත අසුරාගන්නවා. ඔන්න ආයෙත් මේක කරේ තියාගෙන යනවා. බරට බරේ... ඉතින් මේකේ හරයක් ඇති වටිනාකමක් ඇති කිසිම දෙයක් නෑ. මේක දකින පිස්සු නැතැයි කියන අපි කියනවා අර “මහා පිස්සෙක්නේ. නිකං දුක් විඳිනවා. ඇති දේකුත් නෑ, ඒත් පොදි බැඳගෙන බරට බරේ කරේ තියාගෙන යනවානේ. මොන විකාරයක්ද මන්දා?“ කියලා. ඉතින් එයාට පිස්සෙක් කියලා සම්මත කරනවා ඒ ක්‍රියාවලිය නිසා.

ඒත් ඉතින් මම කියනවා අනේ ඉතින් අපිත් මේ පිස්සට නම් දෙවැනි නෑ කියලා. හරි වැඩක්නේ වෙලා තියෙන්නේ? බැලූ බැල්මට නම් අපි ඒ පිස්සා කරපු වැඩේ කරන්නේ නෑනේ. එහෙනම් මොකද මේ අපිට පිස්සු කිව්වේ? හිතලා බලන්න වෙනවා නේද?

ඇත්තටම ධර්මාවබෝධයට පත්වෙනකම් අපි සෑම දෙනෙක්ම කරන්නෙත් ඒ අර පිස්සා කරපු වැඩේම තමයි. පොදියක් කරේ තියාගෙන යනවා. අවස්ථාව ලැබුණ ගමන් පොදිය දිගහැරගෙන නැවත නැවත අසුර ගන්නවා. වටිනාකමක් ඇති දෙයක් නෙවේ බැලුවම පොදියේ තියෙන්නේ. ඒත් ඉතින් දුක් විඳගෙන කරගසාගෙන යනවා. මොකක්ද මේ පොදිය... ටිකක් හිතලා බලන්න තම තමන් ලග තියෙන මේ මහා බර පොදිය මොකක්ද කියලා. ඉඩක් ලැබුණ ගමන් දිගෑරගෙන නැවත නැවත අසුරගන්නේ මොනවද කියලා.

ටිකක් හිතන්න අරයා මට මෙහෙම කලාය, මෙයා මෙච්චර හොදය, මේ දේවල් මේ වගේය, අරවා මෙච්චර වටිනවාය, ඉස්සර මේවා මෙහෙමයි දැන් එහෙම නෑනේ... ඉවරයක් නෑනේ ඉතින් නේද? කොච්චර නම් පුද්ගලයින්, සත්වයින්, ද්‍රව්‍යයන්, වස්තු ගැන මොහොතක් මොහොතක් පාසා හිතනවද කියලා බලන්නකෝ. ඉඩ පහසුව ලැබෙන මොහොතක් ආවොත් මොකද කරන්නේ? මේ දේවල් නැවත නැවත නොයෙක් නොයෙක් ආකාරයෙන් මැන ගැනීම් කරගෙන අසුරාගන්නවා. නැවත නැවත ඇසුරු කරනවා... මහා බරක් හිතේ ඔසවාගෙන යනවා තමනුත් දන්නේ නැතිවම.

දැන් ඉතින් තවත් මනුස්සයෙක් ඔය දේම බාහිරයට පේන සම්මත වස්තු එක්ක කලාම එයාට පිස්සු කියනවා. ඒත් එයාට පිස්සු කියන තමනුත් ඒ දේම නෙවේද කරන්නේ කියලා ඔන්න මෙතැන් පටන්ගෙන සිහියෙන් යුක්තව සොයා බලන එක තමයි සුදුසු. සොයා බලලා මොකද කරන්න ඕන... අර පිස්සු මනුස්සයා හරයක් නැති වටිනාකමක් නැති ද්‍රව්‍ය රැසක් එකට රැස්කරගෙන තමන්ගේ කරගෙන ඇලීමක් ඇතිකරගෙන ඔසවාගෙන ගියානේ.

අන්න ඒ වගේ මේ වටිනවාය හරයක් තියෙනවාය මගේමය කියලා හිතාගෙන තම තමන් විසින් ඔසවාගෙන යන ඇලීමක් බැදීමක් වටිනාකමක් දී රැස්කරගෙන නිතර නිතර ඇසුර කරමින් සත්වයෙක්ය පුද්ගලයෙක්ය ද්‍රව්‍යයක්ය වස්තුවක්ය කියලා ඔසවාගෙන යන පොදිය දිහා හොදින් නිරීක්ෂණය කරමින් එකින් එක ඉවත් කල යුතුද නැත්ද?

පිස්සා වටිනවාය කියලා හිතාගෙන හිටිය ටින් කෑල්ලක් විසි කරලා දාන්නේ ඒ පිස්සාගේ ඔලුවට ඒක වටින්නේ නෑනේ කියලා හරියටම තේරුණ මොහොතකයි. අන්න ඒ වගේ මේ පිස්සු නෑ කියලා හිතාගෙන අපි පිස්සෝ මොකද කරන්න ඕන ධර්මයේ උපකාරය අරගෙන මේ ඔසවාගෙන යන පොදියේ ඇති දේවල් එකින් එක වටින්නේ නෑ කියලා කියන්නේ ඇයි හරයක් නැත්තේ ඇයි කියලා සොයා බලන්න වෙනවා. අන්න එතකොට නිකම්ම ඒවා විසි කරලා දාන තැනට මනස පත්වේවි.

මේ ඔසවාගෙන යන බරෙන් එකින් එක විසිවෙන කොට මොකද වෙන්නේ? පොදියේ බර අඩුවෙනවද නැත්ද? එතකොට තමන් සැනසීමට සැහැල්ලුවට පත්වෙනවද නැත්ද? ඉතින් මේ දේවල් හිතලා බලන්න. මේ කියපු දේ පුහුණු කලොත් තම තමන් අල්ලාගෙන ඉන්න දේවල් අතහැරගන්න හැකිවෙයිද නැත්ද? රාගයෙන් මිදෙන්න හැකිවෙයිද නැත්ද? පොදියේ බර අඩුවෙනකොට අසහනයෙන් දුකෙන් මිදෙන්නට හැකිවෙයිද නැත්ද? ටිකෙන් ටික මේ බර ඔසවාගෙන යන එක නැවත නැවත අසුරාගන්න එක අඩුවෙනකොට පිස්සුබව අඩුවෙයිද නැත්ද?

එහෙනම් තම තමන්ගේ රාගය ද්වේශය මෝහය අඩුවෙනවා නම් නොදැනීම ඉන්නා පිස්සු බවෙන් මිදෙනවා නම් ඒ දේ සිහියෙන් යුක්තව භාවිතා කොට බහුලව භාවිතා කොට යහපත උදාකරගැනීමම යහපත ගෙනදේවි නේද?

තෙරුවන් සරණින් සියලු දුක් බර අතහැර නිවී සැනසීමටම පත්වෙත්වායි මෙත් සිතින් පතමි!