පාවෙන දර කඳ ඔබ යැයි සිතන්න! (03 කොටස)

නොවැම්බර් 2013 කතු වැකිය

පාවෙන දර කඳ ඔබ යැයි සිතන්න!  (03 කොටස)

සටහනේ අන්තර්ගතය

පසුගිය කතු වැකි දෙකක් තුලින් අප විග්‍රහ කරගත්තේ පාවෙන දර කඳක් උපමා කොට නිවන ප්‍රමාද වීමට ශ්‍රාවකයෙකුට බලපාන කරුණු 8ක් පිළිබඳව බුදු හිමියන් විසින් පෙන්වා දුන්නාවූ කරුණු කාරණා විග්‍රහ කරගන්නටයි. මෙවර කතු වැකියේ එහි ඉතිරිය විමසා බලමු.

පසුගිය කතු වැකි ඔස්සේ කරුණු 4ක් විග්‍රහ කරගන්නට යෙදුනා.  අද පස්වෙනි කාරණයේ පටන්ගෙන අරඹමු. 

  1. දරකඳ මිනිසුන් ගැනීම

නොයෙක් පිරිස් සමඟ එකතුව ඒ ඒ පිරිස් වලට සැපයේදීත් දුකේදීත් උපකාර කරමින් නොයෙකුත් පුද්ගලයින් නිසාවෙන් නොයෙක් ආකාරයෙන් කාර්යබහුලත්වයට පත්ව යමෙක් ඇලී ගැලී බැඳී ගැටී කටයුතු කිරීම නිසාවෙන් නිසි නිවීම පිණිස මෙනෙහි කල යුතු දෑ මෙනෙහි කිරීමට කාලය වැය කිරීමට අතපසු වීමෙන් ආදී බොහෝ කරුණු හේතුවෙන් පුද්ගල ඇසුර නිවීම ප්‍රමාද වීමට / නිවනක් නොලබන්නට හේතුවක් වෙනවා. 

  1. දරකඳ මිනිසුන් නොවන අමනුස්ස පිරිස් ගැනීම

යමෙක් මාර්ගය වැඩීම හෝ වේවා කුසලයේ නිතර වීම හෝ වේවා සීලයක් පිහිටීම හෝ වේවා කුමන හෝ ආකරයක ධර්ම කටයුත්තක් මාර්ගය වැඩීමක් සිදුකරන්නේ මතු සුගතියක් පතා නම් දේව හෝ බ්‍රහ්ම හෝ අත්බැවයක් ප්‍රාර්ථනා කරගෙන නම් ඒ අනුව ඇලී ගැලී බැඳී ගැටී කටයුතු කිරීම නිසාවෙන් නිවීම ප්‍රමාද වීමට / නිවනක් නොලබන්නට හේතුවක් වෙනවා. එමෙන්ම නොයෙක් ආකාරයෙන් මනුෂ්‍ය නොවන අමනුෂ්‍ය පිරිස් වලට අයත් වන නොපෙනෙන සත්ව පිරිස් සමඟ කරන කටයුතු වලට ප්‍රියභාවයක් දැක්වීම ඒවැනි දෑ වෙනුවෙන් භාවනා කිරීම ආදී කටයුතු නිසාවෙන් නිවීම ප්‍රමාද වීමට / නිවනක් නොලබන්නට හේතුවක් වෙනවා.

  1. දරකඳ දිය සුළියකට හසුවීම

පංච කාම ආශ්වාදයන්ට හසුවීම හෙවත් රූප ආශ්වාදය, ශබ්ද ආශ්වාදය, ගන්ධ ආශ්වාදය, රස ආශ්වාදය, ස්පර්ශ ආශ්වාදයට හසුවීම නිසාවෙන් නිවීම ප්‍රමාද වීමට / නිවනක් නොලබන්නට හේතුවක් වෙනවා. උදාහරණයකට යම් ආහාරයක් ගත හොත් ඒ ආහාරය තුලින් පමණක් යමෙකුට මේ ආශ්වාදයන් පහම ලැබිය හැකියි. ඒසේ ලබනවිට ඒවාට ඇලී ගැලී බැඳී ගැටී කටයුතු කිරීම නිසාවෙන් නිවීම ප්‍රමාද වීමට / නිවනක් නොලබන්නට හේතුවක් වෙනවා.

  1. දරකඳ ඇතුලතින් කුණුවී ගඟ තුලදීම දිරායෑම

යමෙක් ධර්මයේ සැබැවින්ම හැසිරෙන්නේ නැතිව බාහිර ලෝකයාට පෙනෙන්නට පමණක් මවා පාමින් හොර රහසේම කෙලෙස් සහගත අකුසල ධර්මයන්ගේ නිරත වෙමින් තමන්ගේ වරද වරදක් සේ නොදැක ඒවා සඟවාගෙන එවැනි වැරදි අනිසි කටයුතු සමඟ ඇලී ගැලී බැඳී ගැටී කටයුතු කිරීම නිසාවෙන් අභ්‍යන්තර පිරිහීමට පත්වීමෙන් නිවීම ප්‍රමාද වීමට / නිවනක් නොලබන්නට හේතුවක් වෙනවා.

ඉතින් මේ කරුණු 8 බොහෝම කෙටියෙන් තමයි මෙහිදී පෙන්වා දුන්නේ. බුදු හිමියන් බොහෝම අපූරු උදාහරණ උපමා සාමාන්‍ය ජීවිතයෙන්ම අරගෙන සෑම විටම පෙන්වා දෙන්නේ තම තමන්ට ප්‍රඥාවන්තව ඒ උපමාවන් උදාහරණ ගලපාගෙන තම තමන්ගේ විමුක්තිය උදාකරගැනීම පිණිසමයි.

ඉතින් ධර්මාවබෝධයට පත්වූ ප්‍රඥාවන්තයා මේ පතේ පොතේ තියෙන උපමා උදාහරණ පමණක් නෙවේ තමන්ගේ ජීවිතයට හමුවෙන සෑම අවස්ථාවක්ම උපරිම ආකාරයෙන් යොදාගෙන තමන්ගේ විමුක්තිය පිණිස ගලපාගන්නට සෑම විටම උනන්දු විය යුතුයි සිහියෙන් සිටිය යුතුයි.

ඉතින් මේ කරුණු 8 පිළිබඳව තම තම නැණ පමණින් විමසා බැලීම ප්‍රඥාවන්ත ඔබට භාරයි. තම තමන්ගේ වැරදි අඩුපාඩු සොයා ගන්න.

බුද්ධිමත් සැබෑම මිනිසෙක් වශයෙන් නිවීම ප්‍රමාද වීමට හෝ නිවනක් නැතිවීමට හේතු වෙලා තියෙන්නේ මා තුල මෙන්න මේ ආකාරයේ වැරදි අඩුපාඩු තිබෙන නිසාවෙන්නේදැයි විමසා බලා ප්‍රඥාවන්තව ඒ වැරදි අඩුපාඩු සකසාගෙන අප්‍රමාදීව නිවී සැනසීමට යොමුවීම අදිටන් කරගන්න. ඒ වෙනුවෙන් තෙරුවණේ ආශිර්වාදය උපරිමයෙන් ලැබේවායි මෙත් සිතින් නිති පතමි!!!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා