නිවෙන්නට කැමැති ඔබ

මැයි 2015 කතු වැකිය

නිවෙන්නට කැමැති ඔබ

සටහනේ අන්තර්ගතය

නිවෙන්නට කැමැති ප්‍රඥාවන්ත ඔබට හිතන්නට... දකින්නට... නුවණින් විමසා ජයක්ම ලබනට ගොනු වූ වදන් පෙලකින් යුතුයි.

නිවෙන්නට කැමැති ඔබ

දැකිය යුත්තේ දේශකයාණන්වහන්සේලාගේ මාර්ග ඵල, මාන්නය හෝ නොගැලපෙන දහම් කරුණු නොව රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් මිදෙන්නට අංශු මාත්‍ර හෝ යමක් පෙන්වා දෙයි නම් එයම වේ...

නිවෙන්නට කැමැති ඔබ

දැකිය යුත්තේ ලාභයට, කීර්තියට, ප්‍රශංසාවට හසුව උන්වහන්සේලා දේශනා කරනවායැයි චෝදනා නොව නිවීම පිණිස යම් අංශුවක තරම් හෝ ධර්ම කොටසක් පෙන්වා දුන්නේ නම් ඒ අංශුවක කාලය වෙනුවෙන් හෝ කාලය ශ්‍රමය කැප කොට වෙහෙසව තමන් කෙරෙහි අනුකම්පාවෙන්ම ඒ සත්ධර්ම කොටස දේශනා කරන්නාවූ මහා උත්තමයෙක් ලෙසින්ම වේ...

නිවෙන්නට කැමති ඔබ

කතා බහ කල යුත්තේ දේශනාවේ 99%ක් තිබූ වැරදිවූත් නොගැලපෙන කරුණුත් නොව 1% නිවීම පිණිසම තිබූ කරුණමය. එසේ අංශු මාත්‍රයක්වත් නොතිබුනේ නම් කතා කිරිමට සුදුසු තරම් දෙයක් නොවෙන බව සිහිපත් කරගෙන අතහැර දැමිය යුතුම වේ...

නිවෙන්නට කැමති ඔබ

සිතිය යුත්තේ දේශකයාණන්වහන්සේගේ පුද්ගලත්වය ගැන නොව උන්වහන්සේ විසින් පෙන්වා දුන්නාවූ අංශු මාත්‍ර හෝ නිවීමට උපකාර වන ධර්ම කොටස සම්බන්ධවය... එය තම තමන්ගේ ජීවිතය ගැලපෙන්නේ කෙසේදැයි තමන්තුලින් නුවණින් දැකගැනීමට වෙහෙස විය යුතුම වේ...

නිවෙන්නට කැමති ඔබ

අනුන්ගේ වැරදි දැකීමට සිත, කය, වචනය මෙහෙයවන කාලය වැය කොට දැකිය යුත්තේ රූප, වේදනා, සංඥා, සංඛාර "මම" යැයි "මගේ" යැයි "මගේ ආත්මය" යැයි වටිනාකම් දෙමින් මොහොතක් පාසා සත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තු දෘෂ්ඨියෙන් කෙලවරක් නැති මැනගැනීම් කරගනිමින් අන්ත අසරණව දුක්විඳින අනාථ වී ඇති සසර දිගුව ඇති තමන්වත් තමන්ට වැරදුනු දෑමත් වේ...

නිවෙන්නට කැමති ඔබ

බුද්ධ දේශනාවට ගලපනවා යැයි තමන්ට රිසි දේශකයාණන්වහන්සේ කෙනෙක් විසින් දේශිත ධර්මයකට හෝ පොත පතේ සඳහන් ධර්මයට හෝ ගලපමින් ඇලීමට බැඳීමට කටයුතු කරනවා වෙනුවට කල යුත්තේ ඔබතුල පවතින රාගය, ද්වේශය, මෝහය ඒ යම් ක්‍රමයක් වේ නම් ඒ ක්‍රමය අනුගමනය කීරීමෙන් යටපත් නොවී සම්පූර්ණයෙන් පහව යයිද එසේ පහව යෑමට හේතු තිබෙනවාදැයි විමසා බලා කටයුතු කිරීමම වේ...

නිවෙන්නට කැමැති ඔබ

රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් නිවීමක් විනා ඒවා වැඩීම පිණිස සිත, කය, වචනය හැසිරවීම නුසුදුසු නොවේදැයි තමන්ගෙන්ම විමසිය යුතු වේ...

නිවෙන්නට කැමැති ඔබ

විවේඡන අපවාද උපවාද වර්ණනා කිරීම් නින්දා කිරීම් ආදී මේ දෑට ලජ්ජාව භිය ඇති කරගැනීම නිවීම පිණිසම හේතු වේ...

නිවෙන්නට කැමති ඔබ

ගින්දරත් සමඟ සෙල්ලම් කිරීම නවතා සියලු ගිනි නිවා දැමීමට උත්සූක විය යුතුම වේ...

නිවෙන්නට කැමති ඔබ

දන්න ධර්මය මෙනෙහි කරමින් පදවැල් කියමින් සෑහීමකට පත්නොවී ඒ ධර්මය සැබෑවටම එසේ වේදැයි තමන්තුලින්ම නුවණින් දැකීමට සිහියෙන් නුවණින් වීර්යෙන් යුතුව කටයුතු කල යුතුම වේ...

නිවෙන්නට කැමැති ඔබ 

තමන්ගේ ගිනි ගත් හිස නිවා ගනු විනා එය තව තවත් අවුලවා ගැනීමට හෝ අනුන්ගේ හිස් තව තවත් ගිනි තැබීම නොකල යුතු වේ...

නිවෙන්නට කැමති ඔබ සරලවම නිවිය යුතු වේ!  දැවිය යුතු නොවේ!!! 

නිවෙන්නට කැමති ඔබට තෙරුවණේ ආශිර්වාදය උපරිමයෙන්ම ලැබේවා!!! නිවී සැනසීමම ලැබේවා!!!