මේ කාලේ නිවන් දකින්න බැරිද?

ජනවාරි 2012 කතු වැකිය

මේ කාලේ නිවන් දකින්න බැරිද?

සටහනේ අන්තර්ගතය

මෙවර කතු වැකිය වෙන් වෙන්නේ බොහෝම වැදගත් කාරණයක් පෙන්වා දෙන්නටයි. "මේ කාලේ නිවන් දකින්නට බෑනේ...", "මේ කාලේ නිවන් දකින්නට බොහොම අපහසුයිනේ...", "මේ කාලේ බුදු හාමුදුරුවන්ගේ කාලේ වගේ ප්‍රඥාවන්තයින් නෑනේ...", "මේ කාලේ නිවන් දකින්න මට පින් මදිනේ..." ආදී ඔන්න ඔය අදහස එන වැකි බොහෝමයක් නිතරම පාහේ බොහෝ අයගෙන් අහන්නට ලැබෙනවා. මේ කරුණ ගැන නැණවත්ව සිතා බලන්නට කරුණු කීපයක් තමයි මෙහි ගොනු වෙන්නේ.

සමහර වෙලාවට සමහර භික්ෂූන්වහන්සේලා පවා කියන්නට යෙදෙනවා "මේ කාලේ නිවන් දකින්න බෑ ඔය කියනවා වගේ ඒ නිසා පින්කම් ආදී කටයුතු කරලා සුගතිගාමී වෙන්න නිවන් දකින්න තරම් ප්‍රඥාවන්තකමක් ඇතිවෙන්න වැඩකටයුතු සකසා ගමු" කියලා.

මෙවැනි වැකි ඔබෙන් පිටවෙනවා කියන්නේ ඔබ තරම් බුදු පියාණන්වහන්සේට අගෞරව කරන්නාවූ... උන්වහන්සේගේ සත්ධර්මය පහත් කරන තවත් කෙනෙක් නැති තරම්.  ඇයි මෙච්චර තදට බොහෝම සැරට මේ වගේ වැකියක් කිව්වේ.  හිත රිදුණද?  ඔව්, ඔබ ඇත්තටම සිත රිද්දගන්න ඕන තමයි.  තමන්ගේ අනුවණකම තෝරගන්නට තරම් ඔබ දක්ෂ වුණේ නැතිනම් මේ අතිදුර්ලභ මිනිස් අත්බැවයත් ඔහේ ගෙවිලා යාවි.

"මේ කාලේ..." මොකක්ද මේ නිවන් දකින කාලය... මොකක්ද මේ නිවන් දකින්නට නොහැකි කාලය?  ධර්මය අකාලිකයි කියන්නේ ඇයි?  සත්ධර්මය ඕනෑම කාලයක අවබෝධ කරගෙන ඒ උත්තරීතර නිවී සැනසීම උදාකරගන්නට හැකියාවක් තියෙනවා.  අබුද්ධ උත්පාදක කාලයක වුනත් පසේ බුදු පියවරුන් බිහිවෙන්නේ ඒ නිසා නෙවේද කියලා හොඳින් හිතලා බලන්න. 

ඉතින් මේ කාලයේ ඔබ මනුස්සයෙක් වෙලා ඉන්නවා... ඒ අතරින් කියන දෙයක් තේරුම් ගන්නට හැකි බුද්ධි මට්ටමක් තියෙන මනුස්සයෙක් වෙන්නටත් වාසනාව ලැබී තියෙනවා... සත්ධර්මයත් අහන්නට ලැබිලා තියෙනවා... තවම බුද්ධ ශාසනයක් පවතින කාලයක් ලැබී තියෙනවා... සත්ධර්මය විවර කර දෙන කළ්‍යාණ මිත්‍ර ආශ්‍රයත් ලැබී තියෙනවා...  ඉතින් නිවන් දකින්නට මේ කාලේ බැරි නම් ඔබ මොන කාලයක් ගැනද මේ කථා කරන්නේ කියලා තම තමන්ගෙන්ම අහලා බලන්න.

කාලය තෝරගත යුත්තේ තමන් විසින්මයි.  ඒ සඳහා වුවමනාව උනන්දුව ඇති කරගත යුත්තේ තමන් විසින්මයි.  අන්න එවිට ඔබට මේ සත්ධර්මය තුලින් නිසි ඵල නෙලාගන්නට අවස්ථාව පරිසරය ඔබ තුලම සැකසී ඒවි.  ඒ සඳහා බුදු හිමියන්ටවත් උන්වහන්සේ විසින් මතු කරදුන්න ඒ ශ්‍රී සත්ධර්ම රත්නයටවත් අඩුපාඩු කියන්නට ඔබට සිද්ධ නොවේවි. 

කියමනක් තියෙනවා නේද "නටන්න බැරි මනුස්සයට පොලොව ඇදයි" කියලා.  අන්න ඒ වගේ කාලයට හෝ බාහිරවූ බලපෑම් වලට දොස්තබමින් වැය කරන කාලය තමන්ගේම නොහැකියාව විදහාපාන බව නැණවත්ව තෝරාගෙන සත්ධර්මය මතු කරගන්නට ඒ කාලය  යොමුකරන්න.  ඔබට වරදින්නේ නෑ! 

ඉතින් තම තමන් තුල තියෙන අඩුපාඩු හඳුනාගෙන අප්‍රමාදී වෙන්නට කටයුතු සලසාගන්නට ඔබට හැකිවේවායි මෙත් සිතින් නිති පතමි!!!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා