ධර්ම දානයෙන් නිසි ඵල ලබත්වා!!!

ජූනි 2013 කතු වැකිය

ධර්ම දානයෙන් නිසි ඵල ලබත්වා!!!

සටහනේ අන්තර්ගතය

මෙවර කතු වැකිය වෙන් වන්නේ මා ලියන්නාවූ බෙදාගන්නාවූ ධර්මය ඇසුරු කරන ධර්මයට හිතැති පිරිස් වෙතට පුංචි මතක් කිරීමක් කිරීමටයි.

අන් අය සමඟින් ධර්මය බෙදාගන්නට පටන්ගෙන මේ වන විට සම්මතයේ වසර කීපයක් ගත වී තිබෙනවා.  මුල්කාලයේ පටන්ගෙනම ඒවා ඇසුරු කරමින් රැඳී සිටි යමෙක් වේ නම් ඒ අය මුල් කාලයේ ධර්ම විග්‍රහයන් සහ මේ වන විට බෙදාගන්නාවූ ධර්ම විග්‍රහයන් අතර වෙනසක් ඇති බවට අත්දැකගෙනත් ඇති.  මේ වෙනස ධර්ම සිද්ධාන්තයට වඩා විග්‍රහ කිරීමේ ස්වභාවය මත පදනම් වී තිබෙන බව තෝරාගැනීම වැදගත් වෙනවා යන්න සිහිපත් කිරීමටයි මේ ලිපිය වැඩියෙන්ම වෙන් වෙන්නේ.

හතරවටින්ම ඝණ කැලයකින් වටවූ ගම්මානයක් තිබෙනවා නම් ඒ කැලය ගිනි ගෙන දැවෙමින් ගම්මානය අනතුරට පත්වෙනවා නම් ඒ අනතුර දුටු පුද්ගලයෙක් විසින් "ගිනි ගන්නවෝ බේරෙන්ඩෝ!!!" කියමින් හැකි සෑම දෙනාටම අනතුරු අඟවමින් තමනුත් බේරෙන්නට කටයුතු කරනවා නම් තමන්ටත් අනුන්ටත් දෙපාර්ශවයටම යහපතක් වෙන බව මගේ අදහසයි.  ඒ අනුව තමයි මා විසින් එක් පුද්ගලයෙකු හෝ මේ සසර අනතුර වටහාගෙන බේරෙන්නට කැමැත්තක් මතු කරගනීවි යන අදහස ඇතිව මට වැටහෙන යමක් හැකි පමණින් බෙදාගන්නට උත්සාහ කරන්නේ.

ඉතින් සෑම අවස්ථාවකම සිහිපත් කරනවා සේ මම නැවත නැවතත් කියන්නේ මේ ධර්ම දානයන් ඇසුරු කරන ඔබ විසින් මේ සෑම දෙයක්ම බොහෝම ප්‍රවේශමෙන් ඇසුරු කල යුතුයි යන්නම තමයි.  සෑමවිටම ධර්මය තෝරාගත යුතු අන්දමත් නැවත නැවත සිහිපත් කරන්නේත් ඒ නිසාමයි.  තවමත් අරිහත්වයට පත්නොවූවෙකු නිසාවෙන් ධර්ම විග්‍රහයන් තුල අඩුපාඩු තියෙන්නට පුළුවන්.  සමහරවිට සිද්ධාන්තය වැටහී තිබුණත් ඒවා සටහන් තැබීමේ අඩුපාඩු තිබෙන්නට පුළුවන්.  සමහරවිට උපරිමයෙන් නිවැරදිව සටහන් තැබූවත් එය කියවා තෝරාගැනීමේදී ඔබ විසින් නුසුදුසු අන්දමින් තෝරාගැනීමක් කර තිබෙන්නට තියෙන්න පුළුවන්.  මේ වගේ බොහෝ කාරණා නිසාවෙන් ධර්මය තෝරාගැනීමේදී අප විසින් සිහිතබාගත යුතු කරුණු බොහෝමයි.   අපට ලැබිය හැකි යහපත අයහපත තීන්දු වන්නේද ඒ ඇසුරු කරන ආකාරය මතමයි.

මා විසින් ඔබත් සමග බෙදාගන්නා ධර්මය හුදෙක් පොත පතේ දෑ හෝ වේවා මා අසන ලද ධර්ම දේශනාවන් ඒ ආකාරයෙන්ම පිටපත් කිරීමක් නොවන නිසාවෙනුත් ඒවා මාගේ අංශු මාත්‍ර හෝ බුද්ධි මට්ටමකට ගෝචර වන පමණින්ම තෝරාගන්නා ආකාරයෙන් සහ අත්දැකීම් තුලින් මට ලැබෙන ප්‍රතිඵල තුලින් බෙදාගන්නා නිසාවෙනුත් අඩුපාඩු බොහෝ විය හැකියි.  ඒ වගේම ඒ තුලින් ලැබිය හැකි ප්‍රතිඵලත් විවිධාකාර විය හැකියි.  කෙසේ හෝ වේවා උපරිමයෙන් නිවැරදිව තෝරාගත හැකි ලෙසින් බෙදාගැනීමට තමයි උත්සාහ කරන්නේ. 

මුල්කාලයේ යම් ධර්ම විග්‍රහයක් සිදු කලේ නම් මේ වන විට ප්‍රායෝගිකව ලත් අත්දැකීම් පුහුණුව මත ඒ ධර්ම විග්‍රහයම වෙනස් ආකාරයකින් තවත් ගැඹුරින් විග්‍රහ වීමක් සිදුවී තිබෙන්නට හැකිය.  එය එසේ නොවේ නම් කියවන ඔබටද කිසිදු ප්‍රතිඵලයක් ලැබිය නොහැකියිනේ නේද?

හැමදාම එකම කරුණ පමණක් නම් කියන්නේ වැඩිපුර ලිවීමට හෝ ධර්ම දානය පිණිසම පමණක් නම් කාලය ගත කරමින් ඉන්නේ ඒ කියන්නේ ඒ පුද්ගලයා ප්‍රායෝගිකව මේ ධර්ම පුහුණු කරන්නට යොදා තිබෙන කාලය අවමයි යන්නයි.  එවිට එවන් පුද්ගලයන් තුලින් අපට ලැබිය හැකිදෑද අවම වෙන්නට පුළුවන්.  ඒ නිසාම එවන් විපතක් මට හෝ ඔබට සිදු නොවන අයුරින් කටයුතු කරන්නට තමයි මට හැකි අයුරින් උපරිම උත්සාහයක යෙදෙන්නේ.

ඉතින් මේ ලිපිය තුලින් නැවතත් මේ කාරණා සිහි පත් කරන්නේ නව වසරේ ඔබට දිගින් දිගටම මේ "නිර්වාණ ධර්ම" වෙබ් අඩවිය තුලින් හෝ වේවා බ්ලොග් අඩවිය තුලින් හෝ වේවා "ෆේස්බුක්" තුලින් හෝ වේවා අන් කවර ආකාරයකින් හෝ වේවා ධර්මය ලැබෙන්නටත් පුළුවන් නැතිවෙන්නටත් පුළුවන්...

එසේ නැතිවුවහොත් අවම වුවහොත් ඒ තව තවත් මේ ධර්මයේ ප්‍රායෝගික පුහුණුවටම මුල්තැන දෙමින් මගේත් තව බොහෝ දෙනෙකුගේත් හිතසුව පිණිසත් කටයුතු කිරීමක් නිසාම මිස අන් කවර හේතුවක් නිසාවත් නොවන බව කාරුණිකව තෝරාගෙන මෙතෙක් මා බෙදාගත්තාවූ යමක් වේ නම් ඒ දෑ තුලින් ඔබගේ ජීවිතයත් ධර්මයෙන් පෝෂණය කරගන්නට වහ වහා කටයුතු කරන මෙන් සිහිපත්කරන්නෙමි.

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා