නිවන නොලැබෙන්නට හේතු කෙටියෙන්! (01 කොටස)

සැප්තැම්බර් 2013 කතු වැකිය

නිවන නොලැබෙන්නට හේතු කෙටියෙන්! (01 කොටස)

සටහනේ අන්තර්ගතය

සම්මා සම්බුදු පියාණන්වහන්සේගේ පරිනිර්වාණයෙන් වර්ෂ දෙදහස් ගණනක්ම ගෙවී ගොස් තිබෙන මොහොතක ඇයි මේ නිවන ප්‍රමාදැයි කියලා තම තමන්ගෙන්ම විමසා බැලීම වැදගත් වෙනවා. අන්න ඒ ගැටලුව මුල්කරගෙන මෙම සටහන තබන්නේ මෙම ගැටලුවට පිළිතුරක් සොයා ගැනීමට වැදගත් වේ යැයි සිතෙන කරුණු කීපයක් ගොනු කිරීමටයි.

සම්මා සම්බුදු පියාණන්වහන්සේ විසින්ම මෙම ගැටලුවට හේතු විය හැකි කාරණා කීපයක් පෙන්වා දී තිබෙනවා. අන්න ඒ කරුණු කීපයක පිළිබඳව ඉතාමත් කෙටියෙන් මෙහි පෙන්වා දෙන්නම්. පසුවට මෙහි දීර්ඝ විස්තරයක් ලබාදෙන්නම්.

දිනක් බුදු හිමියන් ගංගා නම් නදියේ සැඩ පහරේ ගසාගෙන යන දරකඳක් දැක ඒ දර කඳ උපමා කොට තමයි මේ කරුණු කීපය පෙන්වා දෙන්නේ. මහා ප්‍රාඥයානන්වහන්සේ විසින් බොහෝම අපූරුවට පෙන්වා දී තිබෙන්නේ සැඩපහරකට හසුව ගසාගෙන යන දරකඳකට උරුම විය හැකි විපත්ති ටිකක් තමයි. ටිකක් නෙවේ ඇත්තටම කියනවා නම් දරකඳ සමුදුර හමුවට යෑම වැළැක්වීමට මේ කරුණු 8න් ඔබ්බට ගිය අමතර කරුණක් තවත් නෑ කිව්වොත් නම් නිවැරදියි.

{අඩංගු ත්‍රිපිඨක ග්‍රන්ථය - සූත්‍ර පිඨකය < සංයුත්ත නිකාය 4 (සළායතන වග්ග) < 4. චතුත්ථ පණ්ණාසකය < 19. ආසිවිස වග්ගය < 4. දාරුක්ඛන්ධොපම සූත්‍රය < පිටු අංක 350 - 355 (PDF පිටු අංක 376 - 379)(මෙම සූත්‍රය කියවන්නට හෝ බාගත කරගන්නට පහල යොමුවක් ලබා දී ඇත)} 

  1. දරකඳ මෙතෙරට ගොඩ ගැසීම
  2. දරකඳ එතෙරට ගොඩ ගැසීම
  3. දරකඳ දියෙහි මැද ගිලා බැසීම
  4. දරකඳ වැලි දූපත් වැනි ගංගාවන් මැද තිබෙන්නාවූ ගොඩබිම් වලට ගොඩ ගැසීම
  5. දරකඳ මිනිසුන් ගැනීම
  6. දරකඳ මිනිසුන් නොවන අමනුස්ස පිරිස් ගැනීම
  7. දරකඳ දිය සුළියකට හසුවීම
  8. දරකඳ ඇතුලතින් කුණුවී ගඟ තුලදීම දිරායෑම

ඉතින් ගංඟාවේ ගසාගෙන යන දරකඳකට මේ විපත්ති ටික හමුවුණේ නැතිනම් අනිවාර්යෙන්ම දරකඳ මුහුදට යනවා යනවාමයි නේදැයි සිතා බලන්නකෝ. ගංඟාව ගලා බසින්නේ මුහුදට නිසා ඒ ගංඟාවේ ඉහත සඳහන් බාධක වලට හසු නොවී ගසාගෙන යන ඕනෑම දෙයක් ගංඟාව සේම අවසානයේ මුහුද හමුවීම ඒකට හේතුව වෙනවා.

ඉතින් මීලඟ කතුවැකියෙන් විමසා බලමු දරකඳ කොහොමද මේ නිවීමක් සැනසීමක් සොයන්නා වූ ප්‍රඥාවන්ත ශ්‍රාවකයාට සමාන වෙන්නේ කියලා.

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා