කුසලයට තැන දීම

ජූලි 2015 කතු වැකිය

කුසලයට තැන දීම

සටහනේ අන්තර්ගතය

බුදු හිමියන් විටෙක පෙන්වා දී තිබෙනවා; යමෙකුගේ වරදම නොදැක යහපත් දේ අගය කරන්න එයයි සත්පුරුෂ ගුණය කියලා. හොඳක් සොයාගන්නට පවා නොමැති නම් අඩුම තරමේ මේ පුද්ගලයා මෙච්චර දුර්ලභ මිනිසෙක් වෙලා ඉන්න එකම මදැයි කියලාවත් ඒ පුද්ගලයා කෙරෙහි පැහැදී සිත රාගයෙන්, ද්වේශයෙන් මෝහයෙන් මුදවාගන්නටැයි කියලා ධර්මයේ සමහර තැන්වල තිබෙනවා... පොතේ තියෙන නිසා නෙවේ මෙහෙම කලොත් පිළිපැද්දොත් ඇත්තටම මනසට කොතරම් විවේකයක් සහනයක් ලැබේවිද කියලා සිතා බැලීම පිණිස දහම් කරුණු කිහිපයකි.

තවත් විටෙක කියලා තියෙනවා මොහු හෝ ‍මොවුන් මට අවැඩක් කළා යැයි හිත දූෂ්‍ය කර ගැනීම, මොහු හෝ මොවුන් දැන් මට අවැඩ කරයි කියා හිත දූෂ්‍ය කර ගැනීම ආදී ආගාධයට පත්වෙන කරුණු 9ක් ගැන.  මම මෙයිට කලිනුත් මේ ගැන දක්වා තියෙනවා.  ඒවා නැවත කියවා බලන්නකෝ... හිතලා බලන්න මේ අපි කරන්නෙත් මේ දේම නෙවේද කියලා. 

තවත් විටක බුදු හිමියන් දුන් උපදේසයක් තියෙනවා පිටත ගිනි ඇතුලට ගන්න එපා ඇතුලත ගිනි පිටතට දෙන්න එපා කියලා. මේ දේ කාන්තාවන්ට තමයි විශේෂ කරලා නම් තියෙන්නේ.  ඒත් එය ගැඹුරින් විමසා බලන්න.  රටේ සිද්ධ වන සෑම සියලුදේම මෙන්න මෙහෙමයි කියලා ප්‍රසිද්ධ කරන්න ගියාම ඒ කියන්නේ ඇතුලත ගිනි පිටතට දෙන්න ගියාම කොතරම් ප්‍රශ්ණ ගැටලු ඇතිවෙනවාද කියලා.  බාහිර සතුරු කරදර මෙන්ම මේවායෙන් ප්‍රයෝජන ගන්න අතරමැදියෝ කියලා පිරිසකුත් බිහිවෙනවා.  ඉතින් “අපේ රට මෙන්න මෙහෙමයි“ කියලා මේ රටේ සිද්ධ වෙන අගුණයක් කියන්නට මත්තෙන් බුදු හිමියන්ගේ අවවාදය සිහි කරගන්නට ඔබට නොහැකි නම් ඔබ නාමික වශයෙන් හෝ බෞද්ධයෙක් නොවේ කියලා මතක් කරගැනීමත් ඔබටම කරගන්නා යහපතක් වේවි...  

ඉතින් මේ බාහිර දේවල් ගන්නා තරමක් අරගෙන තමන් දැවෙන එකට තමයි පිටත ගිනි ඇතුලට ගන්නවා කියලා කියන්නේ.  අමාරුවෙන් හම්බ කරගන්නට මුදල් විදුලි බිලට ගෙවාගෙන පුවත් පත් ආදියට ගෙවාගෙන මේ ඔබ හොයන්නේ කාගේ කුණුදැයි ටිකක් හිතා බලන්නකෝ... ඇයි මේ සල්ලි දීලා ගිනි ගන්නේ?  ඔබට දැනටම තියෙන ගිනි මදිවෙලාවත්ද?   තවත් විටෙක බුදු හිමියන් කියලා තියෙනවා අනුන් කරනතෙක් බලාගෙන ඉන්නේ නැතිව තමන්ට කල හැකි කොටස උපරිමයෙන් වගකීමෙන් කරන්නට කියලා.  ඉතින් මේ දේ අංශු මාත්‍රයකින් හෝ පිළිපදිනවා නම් මේ සියලුම දේ නිසි බලධාරියා කල යුතුයැයි චෝදනා කරන පිරිස් බිහිවේවිද? 

ධර්මයේ තවත් ගැඹුරට බැස බැලූ විට තිබෙන දෙයක් තමයි යමක් හටගත්තා නම් විපරිණාමයට පත්වෙලා විනාශයට පත්වෙන එක ධර්මතාවයයි කියන දේ.  ඒ කියන්නේ අනිත්‍ය ස්වභාවය.  ඉතින් සියල්ල අනිත්‍යයයි කියලා කියන්නා වූ බෞද්ධ කියන්නාවූ ඔබම හිතලා බලන්න ඒ අනිත්‍ය ස්වභාවයෙන්යුක්ත දේවල් කඩා බිඳ විනාශ කරන්නට හැකි, කැඩී බිඳ විනාශ වී යන, කැඩෙන බිදෙන විනාශ වෙන ස්වභාවයෙන් යුක්ත දේවල් රැකගන්නට කොතරම් නම් සිත, කය, වචනය යොදාගෙන අකුසලයේ නිරත වෙනවාද කියලා...   

බුදු හිමියන් දස අකුසලය පෙන්වා ඒවායේ විපාක පෙන්වා ඒවායේ අනතුර පෙන්වා තිබෙනවා.  තමන්ගේ ශාස්තෘන්වහන්සේට ගෞරවයක්  තිබෙනවා නම් ආදරයක් තිබෙනවා නම් මේ දස අකුසලයේ පුන පුනා කටයුතු කරන්නට ඔබට සිතෙනවද?  

එහෙනම් දැන් ඉතින්  නාමිකව හෝ බෞද්ධයෙක් කියන්නට තරම් ඔබ සුදුසුයි කියලා ඔබට සිතෙනවද?   උදාහරණයක් විදියට ගතහොත් ලංකාවේ වැඩියෙන් ඉන්නේ බෞද්ධ ප්‍රතිශයතයක් කියලා කියනවනේ.  ඇත්තට වැඩිම ප්‍රතිශතයක් ඉන්නේ බෞද්ධ කියලා ඔබට හිතෙනවද? 

උදේ ඉදන් බණ අහන රටේ ඇයි මෙතරම් අපරාධ කියලා අහන බුද්ධිමත් ඔබ සිතා බැලිය යුත්තේ දැන් ඉතින් වැඩියෙන්ම කරලා තියෙන්නේ උදේ ඉදන් බණ ඇහුවද නැතිනම් ඔය බණ ඔහේ ගියාවේ අනේ ඉතින් යන එන ගමන් ඇහෙනවානේ කියලා බොහෝම කැමැත්තෙන් අහන්නට  බලන්නට මුල්තැන දෙන්නේ ප්‍රවෘත්ති ආදියටද කියලායි... 

ඉතින් මෙච්චර කාලයක් බණ ඇහුවත් තවමත් නිවීමේ මාත්‍රයක්වත් නැතිනම් එයින් අදහස් වෙන්නේ උදේ ඉදන් බණ යෑමේ වරදක් හෝ බණ වල වරදක් හෝ බණ කියන්නා වූ පිරිසගේ වරදක් හෝ නොවේ ඔබ මුල්තැන දී අසා ඇත්තේ උනන්දුවෙන් ලංකරගෙන ඇත්තේ නිවෙන බණ වෙනුවට දැවෙන ගිනි බණ බවයි.  

බණ වලත් ඔබ තෝරාගන්නේ අන් අයව විවේඡනය කරන, අනුන්ව හෙලා දකින, අන් අයව පහත් කරන්නා වූ බණ වර්ගයක් නම් එය බුදු බණ නොවන නිසාම ඒවා ගිනි බණ වෙන නිසාම ඔබට සැනසීමක් සහනයක් නම් නොලැබේවි. දැන් ඉතින් කාගෙද ඔක්කෝම අවුල?  මාධ්‍ය වලද?  බණ වලද?  නෑ අවුල තියෙන්නේ ඔබ තුලමයි.  ඔබ තෝරාගැනීම නිසි ලෙසින් සිදු නොකරන නිසාමයි මේ තාමත් දැවෙන්නේ.  ඉතින් ඔබ නිවෙන්නට නම් මුලින්ම දැවීම හදුනාගත යුතුයි.   

ඔබගේ ඇස, කණ, දිව, නාසය, කය කියන පංච ඉන්ද්‍රීයයන්ගෙන් ගන්නා අරමුණු ඔබගේ මනස දවන්නට සලස්වනවා නම් ඒවා තෝරාගන්නට ඔබ සිහියෙන් සිටිය යුතුයි.  ඒ දැවෙන අරමුණු කොතරම් ආවත් තමන් නොදැවී ඉන්නට නම් ඒ දෑ ගැන විමසුම් බුද්ධියකින් තෝරාගෙන ඒවායේ යථාර්ථය ගැන අවබෝධ කරගත යුතුයි.  ඔන්න එවිට නම් ඔබට නිවීම දුර නොවේවි!  

කෙලින්ම ගිනි ලෙසින් පෙනෙන්නට තියෙන දෑම ප්‍රතික්ෂේප කරන්නට තරම් බුද්ධිමත් වෙන්න.  ඉන්පසුව බණ ලෙසින් බුදු හිමියන් කිවූවාය කියලා හෝ වේවා ඔබගේ රාගය අවුස්සාගන්නට, ද්වේශය අවුස්සාගන්නට, මෝහය අවුස්සාගන්නට කෙනෙක් යමක් කියනවා නම් ඒවා තෝරාගෙන ප්‍රතික්ෂේප කරන්නට තරම් බුද්ධිමත් වෙන්න.  

මේ කෙලෙසුන් සමග සිද්ධ කරන මාර යුද්ධයේ ජය පරාජය තීරණය කිරීමට කෙලෙස් වලට ඉඩ නොතබා ඒ තීරණය ඔබ ගන්නට තරම් බුද්ධිමත් වීර්යසම්පන්න පුද්ගලයෙක් වෙන්න.  නැතිනම් බහුතරයක් වගේ සැඩ පහරට ඔහේ ගසාගෙන යන දුර්වල අනුවණ මිනිසෙක් පමණක් වෙන්නට සිද්ධ වේවි!  රටේ බෞද්ධ ප්‍රතිශතය වැඩිකිරීමට මත්තෙන් තමන් තුල බෞද්ධ වූ ගුණ ප්‍රතිශතය වැඩි කරන්නට තනි තනි පුද්ගලයෙක් ලෙසින් කටයුතු කරන්නට උපරිම උත්සාහයක් ගන්නවා නම් උදෑසන නැගිටින විටම ඒ ආකාරයෙන් හික්මෙන්නට අධිශ්ඨාන කරගෙන දිනය පුරාවට ඒ දේ කරගන්නට සිහියෙන් සිටිනවා නම් ඔබ තුල සැබෑ බෞද්ධත්වය වර්ධනය වේවි.  තෙරුවණේ ආශිර්වාදය උපරිමයෙන් ලැබේවි.  ඉතින් හැමදාම කියනවා වගේ තීරණය ඔබ අතේමයි!!!  

ඔබ සැමට තෙරුවන් සරණින් නිවී සැනසීමම වෙත්වා!!!   දැවෙන සිත් සතන් සුවපත් වෙත්වා!!!

 

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා