ඔබේ ආගම හඳුනාගන්න!

සැප්තැම්බර් 2012 කතු වැකිය

ඔබේ ආගම හඳුනාගන්න!

සටහනේ අන්තර්ගතය

ලෝකයාට තම තමන්ගේ ආගම් වල ඇති වටිනාකම වගකීම සිහිපත් කරදෙන්නට “නිර්වාණ ධර්ම” තුල ඉඩක් නිතැතින්ම වෙන් වන්නේ මේ වන විට “ආගම” යනු විනාශයක් ගෙන දෙන්නක් බවට පත්කරගෙන ඇති නිසාවෙනි.

ආගමක මෙන්ම ඒ ඒ ආගම් අදහන නිවැරදි ශ්‍රාවකයෙක්ගේ යුතුකම් වගකීම හඳුනාගැනීමට යොමුනොවීම තුල ලෝකය පුරාම මේ වන විට ගිනි ඇවිලී ඇති සේයි.  තම තමන් දෙවියෙන්ගේ සැබෑ දරුවන් ලෙසින් පවසමින් යක්ෂයාගේ ආකර්ෂණයට ලක්ව යක්ෂයාගේ අනුගාමිකයන් වී ඇති ආකාරයද දැකගන්නට ප්‍රඥාවන්ත වීම වැදගත් බව සිහිපත් කිරීමට මේ සටහන උපකාර අංශු මාත්‍ර තරමින් හෝ උපකාර වේවා.

ආගමක් දහමක් තිබෙන්නේ යක්ෂයාගේ වැඩපිලිවෙලින් ඉවත්වීමටයි.  යහපත් දෑ ඉටු කරමින් අන්‍යෙන්‍ය වශයෙන් යහපත උදාකරගනිමින් සැනසීමෙන් යුතු දිවියක් ගත කිරීමටයි.  එහෙත් අවසනාවකට මෙන් මේ වන විට තම තමන්ගේ ආගම සහ ඇදහීම් විශ්වාසයන් තුලින්ම විනාශය උදාකරගන්නට බොහෝ දෙනෙක් යොමුවී තිබෙනවා. 

තම තමන්ගේ අනුගාමිකයන් ගණන වැඩි කරගැනීමට පමණක් උනන්දු වෙමින් තම තමන්ගේ ආගම තුල පෙන්වා දෙන ගැඹුර අත්දැක ගැනීමට යොමු නොවීමට මේ පිරිස කටයුතු කරනවා.  මේ ගැටලුව පිළිබඳව කෙටියෙන් විමසා ගත හැකි විසඳුමක් වේ දැයි විමසා බලමු.

සම්මා සම්බුද්ධ නම් වූ ඒ මහා විද්‍යාඥයාණන්වහන්සේගේ පෙන්වීම අනුව නම් ගැටලුවත් ඒ ගැටලුවට විසඳුමත් ඉතාමත් පැහැදිලිය.  එහෙත් අවසනාවකට ඒ විද්‍යාව වටහාගැනීමට තරම් බුද්ධිමට්ටමක් සියල්ලෝ වෙත නොවේ.  ඒ ගැඹුර තබා තම තමන්ගේ ආගම තුලින් යහපත් මනුෂ්‍යයෙක් වීමට පෙන්වා දෙන ඉතාමත් සරල කාරණා පවා වටහාගැනීමට බොහෝ මිනිසුන් අපොහොසත් වේ. 

මේ වන විට බහුතරයකගේ පිළිගැනීම නම් යමෙක් යම් ආගමක දහමක ලියැවී ඇති ශුද්ධ වූ ලියැවිල්ලක ඇති දෙයක් අකුරක්වත් වෙනස් නොකර පිලිගනී නම් විමසීමකින් තොරවම ඒ සියලු දේ පිලිගෙන ඒ අනුව කටයුතු කරයි නම් අන්න එවැන්නෝ නියම අනුගාමිකයන් ලෙසින් භාරගනී.  ඒ වගේමයි යම් අනුගාමිකයෙන් මේ ආකාරයෙන් කටයුතු කරමින් තම තමන්ගේ ආගමික සිද්ධස්ථාන කරා යමින් අනුගාමිකයන් පිරිස වැඩි කරගන්නට කටයුතු කරන්නේ නම් තම ආගම දහම වෙනුවෙන් සටන් වදී නම් ඒ අය නියමාකාර අනුගාමිකයන් ලෙසින් පිලිගනී. 

මේ පිරිසට අනුව සැබෑ අනුගාමිකයෙකුගේ වගකීම යුතුකම මෙපමණකින් නතර වේ.  කිසිඳු විටක තම තමන්ගේ ශාස්තෘන්වහන්සේලා කටයුතු කර ඇති ආකාරය හෝ ඔවුන් සැබෑවටම පවසා ඇති ගැඹුරු කරුණු විමසා බැලීමට වටින කාරණයක් ලෙසින් හෝ නොදකී. 

මෙවන් පිරිස් කරන එකම දේ නම් තම තමන්ගේ ලියැවිල්ල උතුම් කොට සලකා “අපි තමයි හරි... අපි තමයි නිවැරදි... අපි තමයි ඇත්ත කියන්නේ අනෙක් සියල්ලෝම බොරු” ලෙසින් තර්ක වාද කරමින් මහා යුද්ධයක් දක්වාම කටයුතු කරයි.  ඒ තුල සතුටක් සැනසීමක් අසහනයෙන් තොරබවක් ලැබේදැයිවත් විමසා නොබලයි. 

මේ අනුගාමික පිරිස නොදකින යමක් වේ.  එනම් තම තමන්ගේ ආගමේ දහමේ පෙන්වා දෙන ගැඹුරුවූ යහපත්වූ හරයන්ගෙන් ඈත්ව ගොස් යක්ෂයාගේ අනුගාමිකයන් වී ඇති බව නොපෙනේ.   

සමහර අවස්ථාවලදී යක්ෂයාගේ පිළිවෙත වංචනිකව දෙවියන්ගේ පිළිවෙත ලෙසින් හුවාදක්වා ඇත.  එවැනි අවස්ථාවලදී දෙවියන් පවා ඔබ වෙනුවෙන් කටයුතු නොකරන්නේ ඔබව පරික්ෂා කිරීමට බව අමතක නොකරන්න.  ඔබ සැබෑවටම දෙවියන්ගේ අනුගාමිකයෙක් නම් යහපත අයහපත තෝරාගන්නට ඔබට හැකිවෙනවා ඇත. 

තමන්ටත් අනුන්ටත් අයහපතක් වන දේ කරන්නට දෙවියන් ඔබව යොමුකරාවිදැයි නුවණින් විමසා බලන්න.  ඔබ සිතනවා නම් ඔබේ දෙවියන් ඔබටත් අනුන්ටත් අයහපතක් වන එකිනෙකා හිංසාවට පත්කරගැනීම, බොරු වංචාව, සොරකම, බලහත්කාරයෙන් අනුන්ව ඔවුන් අකමැති දෙයක් වෙත යොමුකරගැනීම ආදී දෑට කැමතියැයි ඔබ තවමත් දෙවියන් දකිනවා තබා දෙවියන් සිටින මානයකටවත් පැමිණ නැත.  ඔබ තවමත් සිටින්නේ යක්ෂයාගේ අඩවියේමයි.

තම තමන්ගේ ශාස්තෘන්ගේ වදනට අනුව ජීවත් වන සැබෑ අනුගාමිකයන් යැයි විශ්වාසයක් පවතිනවා මිස එය ආසන්නයටවත් පැමිණීමට මේ පිරිසට නොහැකි වී ඇත.  කෙටියෙන්ම පවසනවා නම් කිසිදු ආගමක් දහමක් නැති පිරිසක් බවට පත්වී තිබේ.  තමන් සැබෑ අනුගාමිකයන් බව මවා පාමින් කටයුතු කරන අනුවණයන් පමණක් වී ඇත. 

මේ නිසාම ඔබ ඔබවම වටහාගැනීම වැදගත් වේ.  තම තමන්ගේ ආගම දහම තුල පෙන්වා දෙන යහපත උකහාගන්නට දක්ෂ වීම ඔබගේ මෙන්ම තවත් බොහෝ පිරිසකගේත් යහපත සැනසීම පිණිස හේතු වනු ඇත. 

එසේ නොවුනහොත් අවසානයේ රැවටෙන්නේ ඔබ මිස ඔබගේ ශාස්තෘන්වහන්සේවත් ඔබ අනුගාමිකත්වය ගෙන සිටින යක්ෂයාගේ පාර්ශවයවත් නොවේ.  ඔබ තුල සිටින රාගය, ද්වේශය, මෝහය සහිත යක්ෂයා හඳුනාගන්න.  ඒ යක්ෂයා සමඟ සටන් කරන්නට අදිටන් කරගන්න.  ඔබ ඔබගේ ශාස්තෘන්වහන්සේට ලං වෙනවා නොඅනුමානයි.  ඔබගේ ආගම දහම තුල පවතින ගැඹුරු දහම් කරුණු වලට ලංවෙමින් සැබෑම අනුගාමිකයෙක් වන්නට ඔබට හැකිවෙනවා නොඅනුමානයි. 

ඔබගේ ශාස්තෘන්වහන්සේලාගේ රැකවරණයත් ප්‍රඥාව ලැබීම පිණිස තෙරුවණේ ආශිර්වාදයත් නොඅඩුව ලැබේවා!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා