ආර්යයන් පවා පිරිහෙන මසුරුකම

මාර්තු 2016 කතු වැකිය

ආර්යයන් පවා පිරිහෙන මසුරුකම

සටහනේ අන්තර්ගතය

දහම් අවබෝධයෙන් යුතු ආර්යයෙකු පවා පිරිහීමට හෙවත් ප්‍රමාදයට පත්වන්නට හේතුවන කරුණු කිහිපයක් පෙර කතුවැකිය තුලින් මාතෘකාවක් විදියට කතා කරන්නට යෙදුනා. මෙවර ඒ කරුණු සම්බන්ධයෙන් වැඩි දුර විග්‍රහයක් කරගනිමු.

නිවන ප්‍රමාද වන පිරිහීමේ කරුණු වශයෙන් පෙන්වා දුන්නාවූ ආවාසයන්හි මසුරුකම, කුලයන්හි මසුරුකම, ලාභයන්හි මසුරුකම, ගුණ වර්ණනාවෙහි මසුරුකම, ධර්මයෙහි මසුරුකම පිළිබඳව තමයි මෙහිදී විග්‍රහ කරගන්නේ.

භික්ෂුවක් හෝ භික්ෂුණියක් නම් ආවාසයන්හි මසුරුකම වගේම තමයි ගිහි පරිසරයක සිටින කෙනෙකුට තමන් සිටින ගෙදර හෝ කොතැනක හෝ තමන් සිටින ස්ථානයට තිබෙන මසුරුකම පිරිහීම පිණිස ප්‍රමාදය පිණිස හේතුවක් වෙනවා.  ඇලීම බැදීම මසුරුකම මේ දේවල් කොහොමටත් නිවී සැනසීම ප්‍රමාද කරන්නට හේතු වෙනවානේ නේද?

ඒ වගේමයි කුලයන්හි මසුරුකම කිව්වාම වටහාගත යුතුයි ජාති, කුලමල භේදයන් ඔස්සේ තම තමන්ගේ වර්ගය වෙන් කරගෙන සිදු කරන සියලුම ඇලීම් ගැටීම් කටයුතු මේ තුලින් පෙන්වා දෙනවා කියලා.  ලාභයන්හි මසුරුකම අමුතුවෙන් පැහැදිලි කරලා දෙන්නට අවශ්‍යතාවයක් නෑනේ නේද?  ඒ වගේමය තමයි ඉතින් තම තමන්ගේ ගුණ වර්ණනාවට මසුරු වුනොත් ප්‍රමාදය පරිහාණිය ඇතිවෙන්නේ කොහොමද කියලා විශේෂයෙන් පෙන්වා දෙන්නට අවශ්‍ය වෙන්නේත් නෑ.

ඒ වගේම විශේෂයෙන්ම අවධානය යොමු කලයුතු කරුණ තමයි මේ 5වෙනි කරුණ හෙවත් ධර්මයෙහි මසුරුකම ලෙසින් පෙන්වා දී තිබෙන කරුණ.  ඉතින් ආර්ය ශ්‍රාවකයෙක් කියන්නේ සත්ධර්මාවබෝධයට පත් අයෙක්.  ඒ කියන්නේ සරලවම බුදු දහම ඇසුරු කරන්නෙක් ලෙසින් අපට හදුනාගන්නට හැකියිනේ. 

ඉතින් මෙහි තිබෙන මේ කරුණම තමයි බුදු හිමියන් තවත් ආකාරයකට "ධර්මය පහුරක් ලෙසින් භාවිතා කරන්න, එය එගොඩ යන්නට මිස කරතබාගෙන යන්නට භාවිතා කරන්නක් නෙවේ" ආදී ලෙසින් පෙන්වා දුන්නේත්.  ඒ විතරක්ද ධර්මය නිසි තැනින් අල්ලා නොගත්තොත් සර්පයෙක් වැරදි තැනින් අල්ලා ගත්තා වගේ කියලා අදහස් කරන විටත් මේ අදහස එහිත් ගැබ්වෙනවා.

ඇත්තටම ධර්මයට ඇතිවන මසුරුකම ඇලීම නිවීම පිණිස බොහෝම බාධකයක් වෙන්නට තිබෙන අවස්ථාව වැඩියි.  මූලික අවස්ථාවන් තුලින් ගත්තොත් ධර්මය නිසා ගහ මරාගන්නා වාද විවාද කරගන්නා පිරිස් කොතරම් ඉන්නවාද කියලා හිතලා බලන්නකෝ. 

මේ ඇලීම තියෙනතාක් එයට විරුද්ධව දෑ එනවිට ගැටෙනවා.  ඊළගට සත්ධර්මයට තියෙන ඇලීම නිසාම තමන් ධර්මදරයෙක් යන මාන්නය ඇතිවීමට තිබෙන අවස්ථාවත් බොහෝම වැඩියි.  ඒ වගේම තමයි ධර්ම රසය නිසාම තව තවත් ධර්මය සොයාගැනීමේ අරමුණ ඇතිව ඇතිවෙන බලාපොරොත්තු. 

මේ වගේ කොතරම් නම් ධර්මයට තිබෙන මසුරුකම තම තමන්ගේ සැනසීම නැතිකරනවාද කියලා සොයාගන්නට තමන් තුලටම එබී තමන්ව සොයාගැනීමට තමන් දන්නා අවබෝධකරගත් ධර්මය භාවිතා කල යුතුම වෙනවා. 

මේ කාලයට ගැලපෙන උදාහරණයකින් කියනවා නම් ඔබ යම් ගමනක් යන්නට යොදාගන්නා බස්රථයක් හෝ වේවා දුම්රියක් හෝ වේවා ගුවන් යානයක් හෝ වේවා ගැන හිතලා බලන්න.  ඒවා හරිම අලංකාරයි.  සැප පහසුයි.  ඒ තුල තව තවත් කාලය ගත කරන්නට ඇත්ත නම් කියලා හිතෙන වාරත් ඇති.  ඉතින් මේ වාහනය ලස්සනයි කියලා, සුවයි සැපයි කියලා ඔබ ඔබේ ගමනාන්තයේදී ඒ වාහනයෙන් බැස නොගියොත් ඔබට ඔබේ අරමුණ ඉටුකරගන්නට හැකිද?  ඔබේ නොවන වාහනයකට ඇලුණාය බැදුණාය කියලා ඵලක් වෙයිද?  අවසානයේ ඔබේ ගමන යන්නත් නොහැකිව වාහනය ලබාගන්නටත් නොහැකිව අනාථ වෙන්නේ ඔබම නොවේද?  ඉතින් ධර්මයට ඇලෙන සෑම වාරයකම මෙන්න මේ වගේ ඔබට තෝරාගත හැකි දෙයකින් උපමාවක් උදාහරණයක් අරගෙන එයින් මිදීම පිණිස ගලපාගන්නට බුද්ධිමත් ඔබට හැකියි. 

ඉතින් මේ ඉහත සදහන් කරුණු ඇසුරු කරනවා කියන්නේ ඒ ඒ පුද්ගලයාට ඒ ඒ මොහොතේ පවා සැනසීමක් නැති කරලා දාන්නට හේතු යෙදෙනවා කියන එකයි. ඒ නිසා ඒවා හොඳින් වටහාගෙන ඒවායෙන් මිදෙන්නට ඈත්වෙන්නට විවෘත මනසකින් සත්‍ය විමසන බුද්ධිමත් ඔබ උත්සූක විය යුතුයි.  අප්‍රමාදය පිණිසම හේතු වේවායි මෙත් සිතින් සෙත් පතමි!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා