සිහියෙන් යුතු ධර්ම දානය

ජූලි 2013 කතු වැකිය

සිහියෙන් යුතු ධර්ම දානය

සටහනේ අන්තර්ගතය

ධර්ම දානය නම් වූ උතුම් පින්කම අර්ථවත්ව කරගැනීම උදෙසා සත්ධර්මය තුලින්ම ලද යුතු සිහිය විස්තර කරගැනීමට මෙවර කතු වැකිය වෙන්වේ.

විටෙක ධර්ම දානමය පින්කම ලාභ කීර්ති ප්‍රශංසාවන්ට යටවී කරන්නක් ලෙසින් දකිනවා... තවත් කෙනෙක් මාන්නය උපදවාගැනීමක් ලෙසින් දකිනවා... තවත් කෙනෙක් අවංක උත්සාහයක් ලෙසින් දකිනවා... බොහෝ දෙනෙක් මෙය වළකාලීමටද උත්සාහ දරනවා... කිහිප දෙනෙක් අවංකවම මෙම උත්සාහයට අසීමිත උපකාරයන්ද කරනවා...

මේ ජීවිත කාලය තුල සත්ධර්ම තුලින් අවංක සතුටක් සැනසීමක් ලබනවා නම් ඒ මාත්‍රය තව කෙනෙකුටද ලබාදීමේ අවංක වේතනාව විනා අන්කවරක්වත් නැතැයි කීවද එයද විවිධාකාරයෙන් තෝරාගන්නා පිරිස් සිටීවි.  ඉතින් මේ අංශු මාත්‍ර උත්සාහය තුලින් යහපත් හෝ වේවා අයහපත් හෝ වේවා තම තමන් ලබාගන්නා දෑ තම තමන්ටයි.

ඔබ මේ උත්සාහ තුලින් යම් ධර්ම ඥානයක් වර්ධනය කරගන්නේ නම් ඒ ඥානයද අනිත්‍යවූ ධර්මතාවයම රැගත් බව නිති සිහි තබාගෙන අතැහැරීම නොඇලීම මිදීම තුලින් ශාන්ත ප්‍රණීත නිර්වාණයම අත්පත් කරගැනීමට වහ වහා උත්සාහවන්ත විය යුතුයි.

ධර්ම ඥානයද වෙනස්වීමට ලක්ව යන්නාවූ අනිත්‍යවූ ධර්මතාවයෙන්ම යුක්ත වූවක් බව තෝරාගැනීම ධර්ම දානය කරන්නාවූ ඔබටද යහපත්වූ ප්‍රතිඵල ලැබීමට උපකාරයක්ම වනු ඇත. 

එවිට තමන් බෙදාගන්නා වූ යම් ධර්මයක් වේ නම් ඒ තුලින් මානයක් ඇතිකර නොගැනීමටත් ලාභ, කීර්ති, ප්‍රශංසා ආදිය බලාපොරොත්තු නොවීමටත් ඔබ සැමටත් ඒ සිහිය උපකාරයක්ම වේවි. 

ධර්ම දානයක් තුලින් යමෙක් ලාභයක් ලබනවා නම් එය තවත් සසර අනාථ සත්වයෙකුගේ සසර අනාථත්වයෙන් මිදීමට රැකුලක් උපකාරයක් වූ පමණින් ලබන ලාභයක්ම පමණයි. 

එවන් වූ ලාභයක් නොලබන්නේ නම් ඒ ධර්ම දානය වෙනුවෙන් ගත කල කාලයෙන්ද ඵලක් නැත.  බුදු හිමියන්ගේ අවවාදය අනුශාසනාව වූයේ යමෙකුට කෘත උපකාර කිරීමට අවශ්‍ය නම් මේ චතුරාර්ය සත්‍ය ධර්මයම හේතු ඵල දහමම නිවෙන්නට උපකාර වන ධර්මයම හැකි අයුරින් බෙදාගන්නා ලෙසටයි.

එහිදී තමන්ගේ අවබෝධයෙන් කල නොහැකි නම් එසේ අවබෝධයෙන් කරන්නාවූ වූ උතුම් පුද්ගලයන්ගේ හෝ වේවා ධර්මය බෙදාගැනීම ඉතාමත් වටිනා උත්සාහයක්ම වෙනවා. මන්ද මේ සසර එතරම්ම භයංකාර නිසාවෙනුයි. 

ඒත් ඒ උත්සාහයේදී තමා ඒ තුලින්ම අනතුරට පත්කර නොගැනීමට නිති සිහි තබාගත යුතුද  වෙනවා.  අන් අය තමා ගැන හිතන ආකාරය කෙසේ වේදැයි නොසිතා... සිතට එකඟව කටයුතු කරමියි නොසිතා... ධර්මයට එකඟව කටයුතු කිරීමට අදිටන් කරගෙන මේ සසර දුක් කෙලවර කරගැනීමට වහ වහා උත්සාහ දැරීම බුද්ධිමත් සැබෑම මිනිසෙක් වන ඔබ විසින් ඔබටම කරගන්නා යුතුකමයි!!!

ඔබගේම මනසේ සිරකාරයෙක් වෙමින් සිහින ලෝකයක සිරවී සිටින ඔබට එයින් මිදීමට තෙරුවණේ ආශිර්වාදය උපරිමයෙන් ලැබේවායි මෙත් සිතින් සෙත් පතමි!!!

අනුන් ගැන නොව තමන් ගැනම සිතා බලන්න... තමන්ටම යොමුවෙන්න... තමන් තුල ඔබ නොදුටු අත්නොදැකපු දෑ බොහෝමයි... එවිට අනුන්ටද පෙන්වා දීමට යමක් ඔබට දැනේවි.  එනිසා සිහියෙන් යුතුවම මිදී... නින්දෙන් අවදිවීමට ඔබට අවශ්‍ය සියලු ආශිර්වාදයන් ලැබේවා!!!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා