මෝඩ කපුටා සහ අපි!

අප්‍රේල් 2014 කතු වැකිය

මෝඩ කපුටා සහ අපි!

සටහනේ අන්තර්ගතය

උපමා කතාවක් ඇසුරෙන් අපේම අනුවණකම් හඳුනාගැනීමට එකතු වන දම් ලිපියකි.

ඔන්න දවසක් මහා ගංගා ඇළ දොළ උතුරා යමින් ගංවතුරක් ඇතිවෙලා මරණයට පත්වෙලා සිටිය ඇත්කුණක් ඒ වතුරේ ගසාගෙන යනවලු.  මේ ඇත්කුණ දුටු කපුටෙක් ඒ ඇත්කුණේ වහලා පුංචි මස්කෑල්ලක් කාලා හිතුවලු...  "අප්පා... නියම වස්තුවක් තමයි මට ලැබුනේ... දැන් නම් ඉතින් මේ වස්තුව දාලා මම කොහෙවත් යන්නේ නෑ.." කියලා. 

ඉතින් උතුරා යන ගංගාව ගලා යන්නේ මුහුදටයි... ඒත් කපුටා නෙවේ මේ දේ දන්නේ... කපුටා තවමත් ඉන්නේ අර ආශ්වාදයෙන් මත්වෙලා. තමන්ට මහා වස්තුවක් ලැබුණාය කියලා තමයි හිතාගෙන ඉන්නේ.  මස් කෑල්ලක් කාලා වතුර ටිකක් බීලා ඒ ඇත් කුණ මතටම වෙලා බොහෝම සතුටෙන් ඉන්නවා. 

ඇත්කුණ පාවෙලා මුහුදට ආවා... මුහුදෙත් ඈතින් ඈතට ගසාගෙන යනවා.  දැන් මාළුත් ඒ මස් කනවා... දැන් නම් කපුටට වැඩේ භයානකයි කියලා වැටහුණා.  ඇයි?  එයාගේ වස්තුව දැන් ඉවර වෙන්න එන්නේ.  ඇත්කුනේ හම් කෑල්ලකටත් ලංවෙලා තියෙන කොට කපුටා දැන් නම් එනපොට හොඳ නෑ කියලා බේරෙන්න හිතාගෙන පියාඹන්න පටන්ගත්තා. 

උතුරටත් පියෑඹුවා... දකුණටත් පියෑඹුවා... නැගෙනහිරට, බටහිරට... හැම පැත්තටම පියෑඹුවා ඒත් පේනතෙක් මානයකවත් ගොඩබිමක් නෑ.  ඔබ දන්නවා ඇතිනේ කපුටා කියන්නේ ගොඩක් දුර පියාඹන්න පුළුවන් කුරුල්ලෙක් නෙවේ.  ඒ නිසාම තමයි ඒ අයව නැව්වල පවා තියාගෙන යන්නේ ගොඩබිමක් ලඟ බව දැනගන්නට උපකාරයක් කරගන්න.  ඉතින් මේ කපුටත් පියාඹලා වෙහෙසට පත්වෙලා බැරිම තැන නැවත අර මස් කැබැල්ලක්වත් තියේවිදෝ කියලා එතනට නැවත එනවිට ඒකත් නෑ... අනේ ඉතින් මොකද වුණේ?  කපුටා බොහෝම දුකට වෙහෙසට අසහනයට පත්වෙලා මියගියා.

දැන් මේ උදාහරණය තුලින් යමක් මතක් වුණාද?  ගැලපීමක් එහෙම ලැබුනේ නැතිද?  අපූරු ගැලපීමක් තියෙනවා.  කපුටා කියන්නේ හරියට අපි වගේ.  ඇත්කුණ තමයි අපි අල්ලාගෙන බදාගෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආශ්වාද ලබන අපේ මේ ලෞකික ජීවිතය.  ඇත්කුණ මුහුදට ගසාගෙන යනවා වගේ එකතැනක නැවතී තියෙන්නේ නෑ වගේ මේ ජීවිතත් ගෙවිලා යනවා.  මොහොතින් මොහොත මරණයට ලංවෙනවා... ඒ ඇත්කුණ මතම ඉන්න කපුටත් ඇත්කුණ සමඟ ගසාගෙන යනවා වගේ මේ ලෞකික ආශ්වාද වැඩපිලිවෙල ගෙවිලා යනවාත් සමඟින් අපිත් වයසට යනවා. 

තරුණ වයසේ ආශ්වාද වැඩපිළිවෙලින් මත්වෙලා... මැදි වයසේ ඒවායේ ප්‍රතිඵල වලින් හෙම්බත් වෙලා... මා මහළු වයසේ බැරිය වෙණ ගායනා පෙර සේ කියලා මහළු වයසේ තමයි අර කපුටට වගේ කල මෝඩකම් මතක් වෙන්නේ... එහෙම නේද? කපුටා මුහුදේ අතරමං වුණා වගේ සසරේ අතරමං වෙන්නට මාර්ගය පාදාගන්නේ ඇයි? මිරිඟුවක් පසුපස දුව යන්නේ ඇයි? තමන්ගෙන්ම අහන්න.  වැඩිය කියන්නට අවශ්‍ය වෙන්නේ නෑනේ නේද?  සම්මා සම්බුදු වදනට අනුව ප්‍රඥාවන්තයා උපමාසසඳා සත්ධර්මය තෝරාගන්නට යෙදෙනවා.  ඒ නිසා ලෞකික වැඩපිලිවෙලක අතරමං වෙලා නම් ඉන්නේ පත්වෙලා ඉන්න අනතුර තෝරාගන්නට බොහෝම දුර්ලභ ජීවිතයක් ලබා ඇති බුද්ධිමත් සැබෑම මිනිසෙක් වශයෙන් අප්‍රමාදීව කටයුතු කරන්න!!!  ඔබ සැමට තෙරුවන් සරණින් නිවනම වෙත්වා!!!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා