ඔවා දෙනු පරහට - තමා සම්මතෙහි පිහිටා සිට!

මැයි 2012 කතු වැකිය

ඔවා දෙනු පරහට - තමා සම්මතෙහි පිහිටා සිට!

සටහනේ අන්තර්ගතය

තම තමන්ගේ අඩුපාඩු හඳුනාගෙන නිවී සැනසීමට පත් දිවියක් ලැබීමට උපකාර කරගත හැකි තවත් කරුණු කාරණා කීපයක එකතුවකි.

සම්මා සම්බුදු පියාණන්වහන්සේ විසින් යම් ප්‍රකාශයනයක් යමෙක් පිළිබදව සිදු කරනවා නම් උන්වහන්සේ විසින් එය සිදුකරන්නේ සියලු හේතු තතු සේ දැනගෙනයි! එහෙම නේද? 

හේතු ඵල දහම තමන් තුල වැඩී ඇති බව ප්‍රත්‍යක්ෂ වූවත් බුදු පියාණන්වහන්සේ විසින් සියලු හේතු තතු සේ දැනගෙන සිදු කල යම් යම් කාර්යයන් සිදුකරන්නට අප කිසිවෙකුටත් නොහැකියි යන්න තරයේම සිහි තබා නොගත්තොත් මහා අයහපතක් සිදුවෙන්නට තිබෙන අවස්ථාව වැඩි බව අප නිතරම සිහි තබාගැනීම වඩාත් සුදුසුයි කියලයි මගේ අදහස... මම එහෙම කිව්වේ සම්මා සම්බුදු පියාණන්වහන්සේ විසින් සියලු හේතු තතු සේ විමසා බලා සිදුකරන යම් යම් නිගමන අපි මතුපිට සුළු යම් යම් කරුණු කීපයක් දැක දැන නිගමනයන්ට පත්වන්නට යොදාගන්නා නිසයි. 

මේ ටික කාලයට විවිධ අයගේ විවිධ වූ මතයන් පිටස්තරයෙක් ලෙසින් මට හැකි අයුරින් මගේ බුද්ධි මට්ටම හැකි අයුරින් ගවේෂණයක යෙදුණු විට මට වැටහුණු කාරණය නම් ඒ බෙහෝ දෙනෙකුගෙන්ම  නිවී සැනසීම පිණිස ගතහැකි පුංචි හෝ අදහසක් තිබෙන බවයි. 

ඒ අදහස ලබාදෙන ආකාරය විවිධාකාරයි.  එකිනෙකාට ආවේණිකයි.  අදහස් වචන පද එකම නොවෙනවා වගේම එකක්ම විය යුතුමයි කියලත් නියමයක් නැති බවත් සිහි තබාගැනීම සුදුසු බව තමයි මගේ අදහස.  ධර්මය විග්‍රහ කරන්නට පද අප්‍රමාණයි... විවිධාකාර අර්ථ ඇතිව පෙන්වා දෙන්නට හැකියි... ඒත් ඒ සියල්ල තුලින්ම ලැබෙන අදහස එකයි...

උදාහරණයක් විදියට කියනවා නම් අපි වීදුරු කියන ස්වභාවය තුලින් හදුනාගත යුතු දේ ඒ ඒ දේහි හැඩයෙන් හදුනාගන්නට ගියොත් අමාරුවේ වැටෙන්නේ අපිමයි නේද? ඒ කියන්නේ වතුර බොන වීදුරුවක් හැදිලා තියෙන්නෙ වීදුරු කියන ස්වභාවයෙන් වගේම බීම බොන බීම බෝතලයක් හැදිලා  තියෙන්නෙත් වීදුරු කියන ස්වභාවයෙන්ම නම් අපි ඒ දෙක වීදුරුද කියලා හදුනාගත යුතු වන්නේ ඒ ස්වභාවයෙන් මිස ඒවායේ හැඩයෙන් නොවන බව සිහි තබාගත යුතු වෙනවා කියලයි මගේ අදහස...  දැන් බොහෝ පිරිසක් දැන හෝ නොදැන කරන්නෙත් මේ හැඩයෙන් හොයාගන්නවා මිස ස්වභාවය අනුව හොයාගන්නට උත්සාහ කිරීමක් නොවේ යන්නයි මගේ අත්දැකීම.

ඉතින් ඒ ස්වභාවය තමයි චතුරාර්ය සත්‍ය, පටිච්ච සමුප්පාද ධර්මය සහ රාගවිනය ද්වේශ විනය මෝහ විනය කියන බුදු හිමියන් විසින්  ධර්මය හදුනාගන්නටැයි කියලා පෙන්වා දුන්න ක්‍රම වේදයන් කීපය. ඒකට බහා බලන කෙනෙකුට වචන පද එක්ක ගැටීමක් එන්න විදියක් නෑ කියලා මම මේ වෙනකොට අත්දැකීමෙන්ම දන්නවා.  එහෙම වෙනවා නම් වෙන්නේ ඒ ඒ පුද්ගලයා විසින් ඒ ඒ ධර්මය බෙදන පුද්ගලත්වය කෙරෙහි ඇති කරගන්නා ඇලීම මත හෝ තමන් තුල සත්ධර්මය මතු නොවීම යන මූලික කාරණා මත මිස වෙන හේතුවක් මත නොවේ.

ගලපන්න කිව්වදේට ගලපනවා විනා වචන පදයන්ට නොගලපා... හැඩයට අනුව නොසසදා අන්තර්ගතය විමසා බලා තම තමන්ගේ යහපත උදාකරගැනීම වඩාත් සුදුසු යැයි සිතමි. 

ඒ වගේමයි තමන් මේ සත්ධර්ම මාර්ගය තුල අත්දැකීමෙන්ම නිවීමක් සැනසීමක් ඒ ඒ මට්ටම් වලින් උදාකරගන්නේ නැතිව අනුන්ට ඒ දේට පත්වෙන්නට මග පෙන්වන්න උත්සාහ නොකර සිටින එක බොහෝම වැදගත් වෙනවා.  පිස්සු හැදිලා වගේ දකින දකින අයට නොමිලේ ලබාදෙන අත්පත්‍රිකා වගේ බෙද බෙද යන්නේ නැතිව ධර්ම ගරුත්වයෙන් යුතුව කටයුතු කරන ලෙසත් ඒ ඒ පිරිසට මතක් කරන්නට කැමැතියි.  "ඔවා දෙනු පරහට - තමා සම්මතෙහි පිහිටා සිට" / "අත්තාන මේව පඨමං - පතිරූපේ නිවෙසයේ" කියලා ධර්මයේ මෙවැන්නක් සදහන් කරනවා "පළමුව තමා සුදුසු ගුණයෙහි පිහිටු විය යුතුයි" යන්න පැහැදිලි කර දීමට.  නැත්නම් වැදි බණ වෙනවා කියලත් කථාවට කියනවනේ... ඉතින් තමන් යහපතෙහි නොපිහිටා අනුන්ට අවවාද කරන්නට යාමෙන් නියම ප්‍රතිඵල ලබන්නට අපහසුයි කියලා නුවණින් විමසා දැනගත යුතු වෙනවා.

සැබෑවටම සත්ධර්මය තුලින් පෝෂණය ලබනවා නම් ඒ අනුව හික්මෙනවා නම් කාගෙන් වුවද ලැබෙන යහපත් අවවාදය පිළිගෙන සිය ජීවිතය සකසා ගැනීම සිදු කරගන්නට බුද්ධිමත් ඒ ඒ පිරිස් කටයුතු කරනවා.  ධර්ම දේශනා කරන්නේ කව්ද කොතැනද මාර්ග ඵල ලබලද නැත්ද ආදී බාහිර දෑ ඒ නුවණැත්තාට වැඩක් නැත. කාගෙන් වුවද යහපත් දෑ තෝරාගෙන ඒවා ප්‍රායෝගිකව භාවිතා කරමින් බහුලව භාවිතා කරමින් ප්‍රත්‍යක්ෂ නුවණ ඇතිකරගැනීම නුවණැත්තා කටයුතු කරන ආකාරයයි. 

ඒ නුවණැත්තා අනුශාසකයා විවේචනය නොකර ඒ අනුශාසනයෙන් තම ජීවිතය යහපත් කර ගන්නට වෙහෙසෙනවා මිස ලෝකයේ පවතින්නට ලාභ කීර්ති ප්‍රශංසා උදෙසා හෝ "මම දන්නවා" කියන දෑ පෙන්වන්නට ඒ ධර්මයේ හික්මෙන නුවණැත්තා තුල කිසිදු කැමැත්තක් අභිප්‍රායක් ඇත්තේම නැත! 

ඉතින් මේ කරුණු නුවණින් විමසා බලා කව්රු කව්රුත් යහපත් උදා කරගැනීමට කටයුතු කරන්නට පෙළඹෙන්නටත් ඒ සදහා තෙරුවණේ ආශිර්වාදය නොඅඩුවම ලැබෙන්නටත් මෙත් සිතින් සෙත් පතමි!  කරුණු කාරණා නුවණින් දැක තමන්ගේම ගැලවුම්කාරයා වන්නට කටයුතු කරගැනීම යෙහෙකි!  තෙරුවන් සරණින් නිවනම වෙත්වා!!!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා