පණුවෙක් නොවී සිටින්නට

ජූනි 2011 කතු වැකිය

පණුවෙක් නොවී සිටින්නට

සටහනේ අන්තර්ගතය

මෙවර කතුවැකිය තුලින් අජාන් බ්‍රහ්මවංශ හිමියන්ගේ "Opening the door of your heart" යන ග්‍රන්ථය තුල තිබූ අවසාන කථාව ඔස්සේ යමක් ගොනු කරමි.

බුද්ධිමත්ව විමසා යහපත උදාකරගැනීමට ඔබට මෙසේ අවස්ථාව ලබා දෙමි.  මුලින්ම කථාව කෙටියෙන් කියන්නම්කෝ...

ඔන්න එකමත් එක කාලයක භික්ෂූන්වහන්සේලා දෙන්නෙක් හොඳ යාලුවෝ වෙලා ඉදලා තියෙනවා... ඒ දෙන්නා අපවත් වූ පසු එක්කෙනෙක් දෙවි කෙනෙක් විදියට දේව අත්බැවයක් ලබා දිව්‍ය ලෝකයේ උපත ලැබුවා... අනෙක් යාලු භික්ෂූව පණුවෙක් වෙලා අසූචි පිඩක් තුල උපත ලැබුවා... දේව අත්බැවයක් ලබපු භික්ෂූවට ඕන වුණා එයාගේ පෙර අත්බැවයේ යාලු භික්ෂූව උපත ලැබුවේ කොහෙද කියලා හොයලා බලන්නට... මුලින්ම සියලුම දේව ලෝකවල සෙව්වා ඒත් සොයාගන්නට නොහැකි වුණා... ඉන්පසුව මනුස්ස බ්‍රහ්ම ආදී අනෙකුත් සුගතිගාමී අත්බැවයන්හි සෙව්වා... ඒත් සොයාගන්නට නොහැකි වුණා... තමන්ගේ යහලුවා තිරිසන් අත්බැවයක් ලබන්නට නොහැකි යැයි සිතුවද ඔහු ඒ අත්බැවයන්හිත් සොයා බැලුවා... එහෙත් සොයාගන්නට නොහැකි වුණා.

නිරයේ, ප්‍රේත ආදී අත්බැවයන්හි සොයලත් සොයාගන්නට නොහැකි වූ විට ඉතාමත්ම පහත්වූ අත්බැවයන්හි සොයාබලන්නට නිකමට වගේ සිත් වුණාලු... එවිට තමයි දැක්කේ යාලුවා පණුවෙක් වෙලා අසූචි පිඩක සිටින ආකාරය! 

ඉතින් බොහෝම දුක්වූ දෙවියා පණුවා අසලට ගොස් ඔවුන්ගේ පෙර අත්බැවය මතක් කරලා දුන්නා... එසේ මතක් කොට දී ඔබ ඉන්නා තැනින් මා ඔබව ගලවාගන්නම් එන්න මාත් සමඟ දිව්‍ය ලෝකයට යන්න කියලා දෙවියා කරුණාවෙන් පැවසුවා... ඒත් පණුවා එහෙම ලේසියෙන් යන්න කැමති වුණේ නෑ... ඔච්චරටම දේව ලෝකේ තියෙන සතුට වැදගත්කම මොකක්ද කියලා නොයක් ප්‍රශ්ණ ඇහුවා... මම ඉන්න මේ වගේ සුවඳවත් රසවත් අසූචිත් එහෙ තියෙනවද කියලා ඇහුවා.

ඉතින් දෙවියන් තමන්ට හැකි උපරිමයෙන් දන්න විදියට දේව ලෝකයේ වැදගත්කම වටිනාකම සතුට සුවය සැපය විස්තර කලා... ඒත් පණුවා ඇහුවේ එහේ මේ වගේ අසූචි නැත්නම් මොන සැපයක් ගැනද ඔය කියන්නේ කියලා...ඉතින් දෙවියන් පණුවාව බලෙන්ම ඇදගෙන යන්න හිතාගෙන අසූචි පිඩට අත දාලා පණුවාව අරගන්නත් උත්සාහ කලා... ඒත් පණුවා ඉතින් ලෙස්සලා ගිහින් අසූචි පිඩ ඇතුලටම යන්න පටන් ගත්තා... ඔය විදියට දෙවියන් විසින් 108 වාරයක් අර පණුවව ගන්න උත්සාහ කලා ඒත් පණුවා තමන්ගේ අසූචි පිඩට කොච්චර නම් ඇලී බැඳී සිටයද කියනවා නම් තව තවත් එය ඇතුලටම ගියා මිසක් දේව ලෝකයට නම් යන්න ආවේ නෑලු...!

ඉතින් බ්‍රහ්මවංශ හිමියන් මේ කථාව තමන් ලියූ දහම් පොතේ අන්තිමට සටහන් තබලා කියනවා උන්වහන්සේත් මේ වගේ නිර්වාණය පිණිස සැබෑම සතුටක් ලබන්නට හැකි පරිදි ධර්මය ගැබ්වූ කථා 108ක් විස්තර කරලා තියෙනවා කියලා... ඒත් ඒවා කියවලා නිකම් ඉන්න අයත් අර පණුවා වගේ තමයි කියලා...

කතාවේ හරය අපේ ජීවිත වලට සම්බන්ධ කරගෙන මීළඟ කතු වැකියෙන් විමසමු!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා