නොදුටු රූපය

දෙසැම්බර් 2014 කතු වැකිය

නොදුටු රූපය

සටහනේ අන්තර්ගතය

මෙම ඡායාරූපය මුහුණු පොතේ සැරිසරන අවස්ථාවක සමහර මිනිසුන් විසින් ඒ ඡායාරූපයේ හිමිනම වෙත අනවශ්‍ය කරුණු සමූහයක් අරඹයා තබා ඇති සටහන් කීපයක් දුටු අවස්ථාවක සිතට නැගුනු දම් සිතිවිල්ලකි...

2014 වසරේ නොවැම්බර් මස ලක්දිව මෑත ඉතිහාසයේ බිහිවූ විශාලතම දාගැබ වන “සඳහිරු සෑරඳුන්”ගේ ධාතු ගර්භයේ ධාතු නිදාන උත්සවයේ අවස්ථාවකදී ගත් ඡායාරූපයකි.

පච්චයක සිත රදා, චීවරය නොදුටු ඔබේ සිත... 

වැඩුනු මස් පිඬු පිටුපසින්, හදවත නොදුටු ඔබේ සිත... 

බර හොඳින් දුටු නමුදු, අරමුණ නොදුටු ඔබේ සිත... 

රත්තරන් දැක තුටුව, වෙහෙසීම නොදුටු ඔබේ සිත... 

බැඳීම් පොදි දුටුව මුත්, ඔබ නොදුටු අතහැරුම... 

වදන් වැල් දුටු නමුදු, ඔබට සැඟවුණ අරුත... 

රූපයක් දුටු නමුදු, ඔබ නොදුටු  පෙණ පිඬුව... 

පෙර කල බැඳීම් පොදිය තුල සැබෑම බර, 

මස් පිඬක් සැරසූ පච්චයක් තුල සැඟව ගියාසේ... 

බැඳීම් අතහැරී මිදී ගිය හදවතක තතු, 

කය වැසූ චීවරය රහසින් පැවසුවා සේ... 

ලොව රනින් සමකොට සැලකූ කල නිමාවී, 

පෙණ පිඬුව දැකගන්ට අරමුණක් උදාවී... 

පච්චයන් දරා සිට, ලොව වැනූ වදන් වැල් නිමාවී... 

සැබෑ තතු දැකගන්ට වෙහෙසීම ඇරඹියේ... 

ඔබේ සිත බැඳුනු රැඳුනු දැක්මට අනුව... 

රූපය දුටු නමුදු නොදුටු රූපය සොඳින... 

වටහාගත යුතු නමුදු ඔබ සිටින දෘෂ්ඨිය... 

සැඟව ගිය අරුත් මතු නොවන තෙක් නොම වේය එය විවර... 

දැකගන් සකි, 

කෙලෙස් බරෙන් වැහැරුණු ඔබ සිතෙහිම ඡායාව... 

ඔබටත් නොදැනීම මවයි දහසක් කතන්දර... 

සත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තූ... ඇතය, නැතය, මමය, මගේය... 

දුක් ගෙනෙන අන්තයන් පමණක්ය මේ සැම... 

එනිසාම බිඳලන්න මේ සැම දැකුම්,  නිවහල් කොට ඔබේ සිත... 

යොදන්න ධර්මයේ බර, දැකගන්ට සැඟවුණු අරුත... 

සදන්න ප්‍රඥාව නම් වූ මස්පිඬු, අතහැරීම වනු පිණිස... 

කොටන්න සත්‍යයයේ පච්චය හදවතෙහි, සතුට ලැබ ගනු පිණිස... 

දැනගන්න සැබෑ වටිනාකම රන්සේ සම විමුක්තිය තුල, බැඳීමෙන් මිදුණ... 

එවන් වූ සිතක් දරයි මහණකම දවටාගෙන, ලොවට නොපෙනෙනා උතුම් චීවරය... 

පෙණපිඬුව දැකගන්ට අරමුණු කොට සොඳින්, වෙහෙසවන්නේ නම් නිති... 

තවත් කිසි රූපයන් වනමින්,  අපතේ හලන්නට... වදන් වැල් නම් නැතිවේ නිති!!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා