කාමය පමණක් ප්‍රශ්ණයක් වීම

  16 පෙබරවාරි 2017

අනේ ඉතින් මනුස්ස අපි මොකද කරන්නේ...  රූපය පිරිසිඳ දකිනවා වෙනුවට... කාමය පිරිසිඳ දකින්නට උත්සාහ කරනවා... ඇයි මේ කියන අති සියුම් තත්වයන් ගැන මොහොතකටවත් හිතලා බලන්නේ නෑ... අපිට ප්‍රශ්ණ විඳියට දැනෙන්නේම ඉතින් කාම ලෝකයනේ... අපි ප්‍රශ්ණ විදියට හඳුනාගන්නේ... අපට ප්‍රශ්ණ එන්නේ කාම ලෝකයෙන්මනේ... පංචකාමය විඳින්න ගියාම එන ගැටලුමනේ අපට තියෙන්නේ... ඒ අසහනයමනේ අපට තියෙන්නේ... ඒ නිසා අපට ඒ ප්‍රශ්ණ ටික විසඳගන්නට දහමක් ලෙසින් මොනවා හෝ තිබ්බාම මදැයි නේද? ඒත් අවාසනාවට ඉතින් තමන්ගේ ප්‍රශ්ණ විසඳගෙන පැවැත්මේ ඉන්න එක පැත්තකට තියලා මේ පිරිස කියනවා මේක තමයි බුදු දහම කියලා... අන්න එතනයි වරදින්නේ!!

අපට අමතක වෙනවා අනේ සම්මා සම්බුදු හිමියන්ගේ දහම තුන් ලෝක වාසී සත්වයාටමයි කියලා... කාම ලෝකයට, රූප ලෝකයට, අරූප ලෝකයට යන තුන් ලෝකවාසී සත්වයන්ටයි...

ඒ දහම අහන විට තම තමන්ගේ ලෝක නිච්චයි, සුවයි සැපයි සාරයි කියන අදහස එන්නේම නෑ... ලෝකය දකිනවා... ලෝකයේ ඇත්ත අවබෝධ කරගන්නවා... ඒ තම තමන්ගේ ලෝකයන් පමණක් නොවේ මොහොතක් පාසා තම තමන් ඇත්ත නොදන්නා නිසාම සකස් වූ තුන් ලෝකයම... තුන් භවයම පිරිසිඳ දකිනවා... කොයි ලෝකයක හිටියත් ඒ සත්වයා දහම් දකිනවා කිව්වේ අන්න එහෙමයි... නැතිව තම තමන්ගේ ලෝක ප්‍රශ්ණ නොවේ...

කාම ලෝක අනාථයිනේ... රූප ලෝක අනාථයිනේ... අරූප ලෝක අනාථයිනේ... මේ තුන් ලෝකයම අනේ අනාථයිනේ... කියලා ප්‍රඥාවෙන්ම අවබෝධ වෙන්නට පටන්ගන්නවා... ඒ අවබෝධය නැගෙන්නේම;

රූපය පිරිසිඳ දකින දහමක් බුදු හිමියන් දුන්න නිසාමයි... තුන් ලෝකයම පිරිසිඳ දකින දහමක් බුදු හිමියන් දෙසූ නිසාමයි... අප තුන්ලෝක වාසී සත්වයන් ආදීනව වශයෙන් හඳුනාගන්නා ආදීනවය ඉක්මවා ගිය පෙර නොඇසූ විරු ආදීනවයක් පෙන්වන දහමක් බුදු හිමියන් දුන්න නිසාමයි... 

මේ ඥානය තුලින්මයි මොහොතක් පාසා අතහැරීම නොඇලීම මිදීමමයි සිදුවන්නේ... මේ ඥානය තුලින්මයි සියලු ලෝක අනාථ බව, හරයක් නැති අසූචි පිඩක්ම මිස, ඒ අසූචි පිඩ තුල හොඳ යැයි සුව යැයි ගැනීමට මොහොතකටවත් කිසිවක් නොමැති බව අත්දකින්නේ...

බුදු හිමියන් පවසනවා, ආධ්‍යත්මික වේවා, බාහිර වේවා, සියුම් වේවා, ඝණ වේවා, හීන වේවා, ප්‍රණීත වේවා, දුර වේවා, ලඟ වේවා, අතීත වේවා, අනාගත වේවා, වර්ථමාන වේවා, ප්‍රත්‍ය නිසාවෙන් ඉපදුන යම් රූපයක් වේද ඒ හැම රූපයක්ම අනිච්චයි, දුක්ඛයි, අනත්තයි ලෙසින් අවබෝධ විය යුතුය... ඒ රූපය “මම“ය “මගේ“ය “මගේ ආත්මය“ ලෙසින් නොගැනීම විය යුතුයැයි...  

බුදු හිමියන් කියූ නිසා පිළිගන්නේ නැතිව මේ දහම තුලින්ම අවබෝධ වන්නේ අති සියුම් රූප ඝන රූපයක් සේ සකස් වී විද්‍යාමාන වන ආකාරයමයි... ආධ්‍යාත්මික බාහිර අතීත අනාගත මේ මේ අයුරින් රූපය බෙදී යන්නේ කුමන සංඥා විපරීතයක් නිසාදැයි අවබෝධ වෙනවා... රූපයේ පිරුණු බවක් දැනීම සිඳිලා යනවා... රූපය පිරිසිඳ දකිනවා කිව්වේ ඒ නිසාමයි...

රූපයේ පිරුණු බවක් දැනෙන මොහොතමයි එය ප්‍රිය රූප බවට පත්වෙලා තියෙන්නෙත්... ඒ නිසාමයි රූපයේ ප්‍රිය බව සිඳලා දකිනවා කිව්වෙත්... රූපය පිරිසිඳ දකිනවා කියන දේ මේ ආකාරයෙනුත් අවබෝධ වෙනවා...  ප්‍රත්‍යක්ෂ වෙනවා...