රූපයේ ප්‍රශ්ණය දකින බුදු බණ!

  16 පෙබරවාරි 2017

බුදු බණ නම් රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ නම් පංචස්කන්ධය නිසාවෙන් සකස් වූ මායාව විනිවිද දැකුමටයි.  රූපයේ ඇත්ත නොදකින විට එහි ප්‍රශ්ණය හඳුනාගන්නට නොහැකි වෙනවා... එවිටයි සියලු මුලාවීම්... දහම් ඇස තුලින්මයි රූපයේ ඇත්ත දකින්නේ... රූපයේ ප්‍රශ්ණය දකින්නේ දහම් ඇස තුලින්මයි..

රූපයේ ඇත්ත දකින විටදී...

රූපයේ, වේදනාවේ, සංඥාවේ, සංකාරයේ, විඤ්ඤාණයේ නම් වූ පංචස්කන්ධයේ ඇත්ත ඇති සැටියෙන් ප්‍රත්‍යක්ෂ වේවි... ඒ අවබෝධය... ප්‍රත්‍යක්ෂය නිසාම පංච උපාදානස්කන්ධය ලෙසින් සකස් වූ පංච ස්කන්ධයේ විඳින්නට යමක් ඇති බව දැනෙන ස්වභාවය නැතිවේවි... විශ්වාසය බිඳේවි... පංචස්කන්ධය මත යැපීම නවතීවි...

ඒ නැවතීම පටන්ගන්නට නම් මේ රූපයේ ප්‍රශ්ණය හඳුනාගෙන් රූපයේ යථාභූත ඥාන දර්ශනය පහල විය යුතුයි.  ඉන්පසුව රූපය මුල්වී ඇරඹෙන වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ සැකැස්මේ ඇත්ත දැනගන්නට ලැබේවි... නාමය රූපය යැයි පැවසුවේ කුමක්දැයි අවබෝධ වේවි... මෙතක් කාලයක් සාරවත් ලෙසින් හඳුනාගත්... ප්‍රශ්ණයක් නැතැයි සිතූ රූපයේ ඇත්ත දැනගනීවි... සත්කාය දිට්ඨිය නම් වූ සංයෝජනයක් නැතිවේ යැයි වචනයක් දහම තුල හමුවේවි... මේ දැක්ම තුලින් මේ දේ සිදුවීම පිණිස ආයාසයක් දැරිය යුතු නැති බවම ප්‍රත්‍යක්ෂ වේවි... එය සීලබ්බත පරාමාස සංයෝජනයෙන් මිදීම යැයි දහමේ ඔබට වචනයකින් හමුවේවි... පැවැත්ම මුල්කර සකස් වූ සියලු සැකයන් දුරුවේවි... විචිකිච්ඡා සංයෝජනය යැයි ඔබට වචනයක් දහම තුල හමුවේවි...

බොජ්ඣංග ධර්ම හෙවත් බෝධි අංග වැඩෙන බව දැනීම...

එතැන් පටන් කාම භවයේ හෝ රූප භවයේ හෝ අරූප භවයේ පැවැත්ම සැකසීම නතරවන බව දැනේවි... ඒ නතර වීම පිණිස ආයාසයකින් තොරවම විදසුන සකස් වන බව දැනේවි... එය සිහියම / සතියම මුල්වී යන බව දැනේවි... නිදියන්නේ නැති සෑම මොහොතකම මේ සතිය / සිහිය පැවැත්වීම පිණිස අති සියුම් වූ විරියක් දැරිය යුතු බව වැටහේවි... ඒ අවස්ථාවත් නුවණින් හඳුනාගන්නා බව වැටහේවි... මෙම අවස්ථාවන්ට දහම තුල සති සම්බොජ්ඣංගය, විරිය සම්බොජ්ඣංගය, ධම්ම විචය සම්බොජ්ඣංගය කියන බව වැටහේවි...

මේ අවස්ථා ක්‍රියාත්මක වන විට නිරාමිස, කිසිවක් ආශ්‍රය නොකිරීම තුල නැගෙන ප්‍රීතියක්ම නැගෙන බව අවබෝධ වේවි... එයට දහම තුල ප්‍රීති සම්බොජ්ඣංගය කියන බව වැටහේවි...

නිරාමිසව ලබන සුවයක් අත්දකින බව දැනේවි... එය කොතරම්ද කිවහොත් කයට පවා දැනේවි... දැහැන් සුව ඉක්මවූ නිරාමිස සුවයක්ම බව අත්දැකගන්නට හැකිවේවි... එයට පස්සද්ධි සම්බොජ්ඣංගය යැයි දහමේ පවසන බව වැටහේවි...

විවේකයෙන් යුතු විරාගයෙන් යුතු නිරෝධ වූ ස්වභාවයක් තුල ඇතිව සමාධියක් දැනේවි එයට සමාධි සම්බොජ්ඣංගය යැයි දහමේ පවසන බව වැටහේවි...

මේ සියලු සිදුවීම් හමුවේ පත්වෙන්නේ උපෙක්ෂාවටමයි... රූප මායාව විනිවිද දකිමින් ඒ අරමුණෙන් විමුක්ත වීම පිණිස උපෙක්ෂාවට පත්විමක්ම සිදුවන බව දැනේවි... මෙයට දහමේ උපෙක්ඛා සම්බොජ්ඣංගය යැයි පවසන බව වැටහේවි...

“මම“ය, “මගේ“, “මගේ ආත්මය“ යැයි ඇතිවන හැඟීම් ක්‍රම ක්‍රමයෙන් අඩුවන බව නැතිවී යන බව අත්දැකගන්නට ලැබේවි... වචන පථයෙන් විග්‍රහ කරන්නට නොහැකි වූ නිවන කුමක්ද, සියලු සකස් කිරීම් සිදුනොවන ස්වභාවයේ සැබෑ ශාන්ත බව ප්‍රණීත බව සුවය දැනෙන්නට පටන්ගනීවී... 

සංයෝජනයන් පහ වීම... 

මාන, උද්ධච්ච, අවිජ්ජා ලෙසින් සකස්වූ සියලු මැනගැනීම ක්‍රම ක්‍රමයෙන් පහව යන බව නිරෝධ වන බව දැනේවි... කාමරාගය, රූප රාගය, අරූප රාගය පහව යන බව නිරෝධ වන බව දැනේවි... ඒ රාගයන් ඇතිවන මොහොතක් පාසා ඒ ක්ෂනයේම සකස් වූ ඒවා නැතිවීම තුල ලැබෙන ගැටීම දාහය හෙවත් දෙවැනි අන්තය වන ද්වේශය නැතිවන බව දැනේවි... මේ ආකාරයට යම්තාක් ඒ ඒ යෝනියන්හි ජනිත වීමට හේතුවූ එකතුවෙන් මිදීමට ප්‍රඥාවම ලැබේවි... දහම තුල දස සංයෝජනයන්ගෙන් මිදෙනවා යැයි පවසන්නේද එයම වන බව වැටහේවි... මේ අකාරයට පැවැත්ම සකසන අකුසල ධර්ම හෙවත් කුණු ගොඩවල් නැතිවන බව දැනේවි...

මේ කරුණු හමුවේ විමුක්ත වූ පිරිසිදු සිත නිවන් සුවය විඳින බව දැනේවි... ශාන්ත ප්‍රණීත පැවැත්ම ඉක්මවූ නිවනේ සුවයම මොහොතක් පාසා ලැබේවි... එයම ක්‍රම ක්‍රමයෙන් වර්ධන වීම ප්‍රඥාව වැඩීම... ප්‍රඥාව පූර්ණය කරා ලඟා වීම යැයි දහමේ පවසාවි...

තවත් ආකාරයකට ලෝකයෙන් එතෙර වීම පිණිස ලෝකෝත්තර වූත් නිවන පිණිසම වූත් පැවැත්ම නවත්වන්නා වූත් අරි අටඟි මඟම වඩන ආර්ය ශ්‍රාවකයාගේ නිවන් මඟ වඩන කාලය යැයි මේ කාල සීමාවට පවසාවි... කෙලවර පූර්ණ නිවීම පිණිස තැන තැන පැවැත්ම තුල සිරවීම නොවන බවම අත්දකීවි... මේ ආකාරයට ක්‍රම ක්‍රමයෙන් සිසිල් බව ලැබේවි... නිවෙන බව දැනේවි... සීලය වැඩේවි... සමාධි නැගෙවි... ප්‍රඥාවම නැගේවි... නැගෙන බව දැනේවි... ප්‍රත්‍යක්ෂයෙන්ම දැනේවි...