සාදරයෙන් පිළිගනිමි!

ප්‍රඥාවන්තව දිවි සරු කරගැනීමට සාමය සතුට බෙදන මාගේ මුහුණු පොතේ ගිණුමේ මිතුරු මිතුරියන් අතරට සාදරයෙන් පිළිගනිමි!!! රාගය ද්වේශය පිණිස හිතන කියන කරන යම් මොහොතකද ඒ සෑම මොහොතකම එයින් දැවෙන පළවෙනි පුද්ගලයා තමන්ම වේ. නවීන තාක්ෂණය, සමාජ ජාලා ප්‍රඥාව ලැබීම පිණිස උපකාර කරගැනීමට ප්‍රඥාවන්තවන්නේ නම් තමනුත් ගැලවී තවත් බොහෝ පිරිසකටද යහපත උදා කරදීමට හැකිය. අන්තර්ජාලයේ යමක් දමන්නට මත්තෙන් සිය දහස් වාරයක් සිතන්න! මන්ද අනුවණකමින් ගන්නා පුංචි නොසැලකිලිමත් තීරණයක් ඔබගේ මුළු ජීවිතයටමත් තවත් බොහෝ පිරිසකටත් හානියක් විය හැකිය!

සාදරයෙන් පිළිගනිමි!

  01 ජනවාරි 2017

අපගේ ආගම, ජාතිය, කුලමල, තත්ව තානාන්තර කුමක් වුවත් මිනිසුන් වශයෙන් අප පොදුවේ මුහුණ දෙන ප්‍රශ්ණ ඕනෑ තරම් තිබෙනවා. 

ඒ වගේම අප සෑම දෙනාම සොයන්නේ සැබෑ සතුටයි.  ඒ සතුට ලැබගැනුම පිණිස අප සමරවිට ආගමික පිහිට පතනවා. 

ආගමික වුවත්, භෞතිකවාදියෙක් වුවත්, විශ්වාසකරන්නෙක් වුවත්, කිසිදෙයක් කෙරෙහි විශ්වාසයක් නැත්තෙක් වුවත්, බිහිරි වුවත්, දෙසවන් ඇසුණත් කව්රුන් වුවත් තම තමන්ගේ මනස ක්‍රියාකරන ආකාරය පිළිබඳව නොදැනුවත්නම් සිද්ධ වෙන්නේ හරිම ඇබැද්දියක්. 

බොහෝම බුද්ධිමත් ප්‍රඥාවන්ත මානසිකව සුවපත් පුද්ගලයෙක් ලෙසට ඔබට සිතුනත් තමන්ගේ මනස ක්‍රියාකරන ආකාරය දන්නේ නෑ කියන්නේ ඔබ ඕනෑම මොහොතක මානසික වශයෙන් රෝගාතුර වීමට හේතු වන පසුතලය ඔබ තුල තිබෙනවා යන්නයි.

ඇස, කණ, දිව, නාසය, කය පිනවමින් ඒ ආශ්වාදයන්ට වශී වෙලා අන්ධව කටයුතු කරන තාක් අපට අපගේ මනසේ සැබෑ ස්වරූපය ගැන සොයන්නට අමතකව යනවා.  කෙටියෙන් කියනවා නම් මේ වන විට ලොව සෑම ගැටලුවකටම මූලිකම හේතුව වෙලා තියෙන්නේත් මේ දේම තමයි. 

අපි කොච්චර නම් කාලයක් ජීවත් වෙනවාද?  අවුරුදු 120ක් හෝ 130ක්... ඇත්තමද???  මේ ජීවිතය කොතරම් සුළු මොහොතක් විය හැකිදැයි සිතා බලන්න... මේ කෙටි කාලය තුල අප වෙනුවෙන් අන් අය වෙනුවෙන් යහපත දෑ කොතරම් කර තිබෙනවද? 

මේ කෙටි කාලය අප ගත කරන්නේ ඇස, කණ, දිව, නාසය, කය පිනවමින් ඒවායේ වහලුන් වගේ නම් මේ වහල් සේවයේ තව කොතරම් කාලයක් නිතර වෙනවද? 

සැබෑ සතුට පිණිස බාහිර වූ දෑ මත කොතරම් කාලයක් යැපෙනවද?  බාහිර වූ යමක් තුලින් සතුට ගෙනදේවි යන විශ්වාසයෙන් යුතුව කොතරම් කාලයක් බලාගෙන සිටිනවාද? 

අන්තර්ජාලය, සමාජ වෙබ් අඩවි ආදිය ඔබගේ ලස්සන ජීවිතය විනාශ කර දමන්නට පුළුවන්... එහෙත් එයම සැබෑ සතුට සැනසීම ලැබීම පිණිස ඔබට මහත්වූ උපකාරයක් වන්නටත් පුළුවන්... එය තීරණය වෙන්නේ ඔබ එය භාවිතා කරන ආකාරය මත තමයි!

ඔන්න මම, තවත් පුද්ගලයෙකුට මිනිසෙක් වශයෙන් මට දෙන්නට හැකි හොඳම තෑග්ග ඔබට දෙනවා.  සමහරවිට ඔබගේ ජීවිතයේ ඔබ ලැබූ හොඳම තෑග්ග වෙන්නටත් පුළුවන්...ඒ වගේම කිසිම වැදගැම්මකට නැති තෑග්ගක් වෙන්නත් පුළුවන්...

ඔබගේ ජීවිතයේ යථාර්ථය සැබෑව සොයාගන්න... එය ඔබ විශ්වාස කරන ආගමට දහමට ජාතියට බාධාවක් වෙන්නේ නෑ.  ඇත්ත තිත්තයි තමයි... ඒත් අප ඇත්තටම ඇත්ත දැනගෙන සිටියොත් අපට එයින්ම රැකවරණය ලැබෙනවා.  අන්න ඒ නිසා ඔබ ඔබේම ගැලවුම්කාරයා වන්න... විවෘත මනසකින් මේ තෑග්ග ඇසුරු කොට ප්‍රඥාවන්තව භාවිතා කරන්න.

“කිසිවෙකුටත් ඔබව ගලවාගත නොහැකියි - ඔබගේ සිත, කය, වචනය රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් සංවරත්වයට පතවන්නේ යම් මොහොතකද එතැන් පටන්ගෙන ඔබ ඔබේම ගැලවුම්කාරයා බවට පත්වනු ඇත!“

“මෙය කියවා අමතක කිරීමට නොව ප්‍රඥාවන්තව සිහියෙන් ඇසුරු කොට ඔබවම තේරුම් ගෙන සැබෑ විමුක්තිය උදාකරගැනීම පිණිසමයි!“

 

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා

මෙවැනි සඳහම් ඇසුර වැඩියෙන් ලබනට පිවිසෙන්න;