ඔබේ සුදුසුකම් මොනවද?

ජූලි 2016 කතු වැකිය

ඔබේ සුදුසුකම් මොනවද?

සටහනේ අන්තර්ගතය

අප අතර සත්දහම සොයන බොහෝ පිරිසකට මෙකල වැරදී ඇති නිවනක් නොලැබෙන්නට හේතු වී ඇති කරුණක් පෙන්වා දෙන්නට මෙවර කතු වැකිය වෙන් වෙනවා.

ඔබ මාර්ගඵල ලාභියෙක්ද? ඔව්, මම එවැන්නෙක්!    නැහැ, මම එහෙම නැහැ!

ඉතින් ධර්මය බෙදාගන්නා විට බොහෝ දෙනෙක් විමසන පලමු ප්‍රශ්ණය තමයි ඔබ ලබා ඇති ඵලය කුමක්ද යන්න? ඔබ අරිහත්ද? ආදී වශයෙන් විමසන්නට පුරුදු වෙලා තිබෙනවා... මින් පෙරත් කතු වැකියක් ඔස්සේ මග ඵල කියන්නට හේතු වන කරුණු මොනවාදැයි අප විමසා බැලුවා.  ඉතින් මේ පුංචි කරුණත් බුද්ධිමත් ඔබේ විමසීම පිණිස යොමු කරන අතර ඔබේ යහපත පිණිසම හේතු වාසනා වේවා!

කැමැති කෙනෙකුට කැමැති පරිදි තමන්ට නොයෙක් මාර්ග ඵල තිබෙනවා කියලා කියන්නට පුළුවන්... කාගෙන් තහනමක්ද?  ඔබට මතක ඇති මේ ආකාරයට මාර්ග ඵල ප්‍රකාශ කරන්නට විවිධ වූ හේතු තිබෙන බවට පෙන්වා දුන්න ලිපිය (මග ඵල ලබලද?).  ඉතින් මේ මග ඵල විමසන එක බොහෝම සුලභ වෙලා තිබෙන නිසාම ඒ ගැනත් පුංචි සටහනක් තැබීමට යොමුවෙමි...

ඉතින් මෙහෙම හිතමුකෝ...

මගෙන් කව්රු හරි අහනවා "ඔබ සෝවාන්ද සකෘදාගාමීද අනාගාමීද නැතිනම් අරිහත්ද?" කියලා... එසේත් නැතිනම් "ඔබට තිබෙන සුදුසුකම කුමක්ද මෙය තමයි නිර්වාණය පිණිස තියෙන නියම ධර්මය කියන්න?" කියලා...

එවන් ප්‍රශ්ණයක් ඇසුවොත් මට කියන්න පුළුවන් ඔව්, මම සෝවාන් එහෙමත් නැතිනම් එයිට වැඩි ඉහල මාර්ගඵල ලාභියෙක් කියලා... එවන් වූ පිළිතුරක් සමඟ සිදුවිය හැකි ප්‍රතිඵල 2ක් තිබෙනවා...

  1. ඔබ මාව විශ්වාස කරන්නේ නැත! ඔබ අපහාස උපහාස කරමින් නින්දා කරමින් මට බැන වදින්නට පටන් ගැනීම. ඉතින් බැරිවෙලාවත් මම ඇත්තටම මාර්ග ඵල ලාභියෙක් නම් එහෙම ඔබ කරපු, කියපු, සිතපු ඒ කටයුතු නිසාම ඔබට දුගතියට යන්න මාර්ගය පෑදෙනවා මෙන්ම නිවන් මගත් වැසී යනවා ආර්ය උපවාදයේ බලවත්කම නිසාම. 
  1. ඔබ මාව විශ්වාස කරනවා! මම කියූ පමණින් ඔබ මාව විශ්වාස කරලා මට බොහෝම ගරු කරන්නට පටන් ගන්නවා... මම කියන්නේ කුමක්ද එය එලෙසින්ම බාරගන්නට ඔබට පෙලඹෙනවා... මන්ද ඔබේ විශ්වාසය තමයි මම සැබැවින්ම මාර්ග ඵල ලාභියෙක් යන්න... ඉතින් මම බැරිවෙලාවත් මාර්ග ඵල ලාභියෙක් නෙවේ නම් එහෙම ඔබ මා විශ්වාස කොට කියන, කරන, සිතන දේ අනුවත් ඔබගේ මග නොමග වී දුගතියට වුණත් යන්නට පැවැත්මේම කොටස්කාරයෙක් වෙන්නට වුණත් මාර්ගය පෑදෙන්න පුළුවන්.

දැන් මේ දෙකොටසින් ඔබට සිදුවන යහපත කුමක්ද? කිසිවක් නැත!! ඇයි මම එහෙම කියන්නේ?

එහෙම කියන්නේ මේ නිසයි... ආර්ය උපවාදයේ බරපතලකම නැවත නැවත කියන්නට අවශ්‍ය නැහැනේ... ඔබට වඩා ගුණ මහත්වයෙන් සැබැවින්ම වැඩි නම් එහෙම ඔබට ඉන් ලැබෙන භයානක ප්‍රතිඵල එමටයි... ඒ නිසා ඔබේ පිලිගැනීම තුලින් තීරණය ගෙන කටයුතු කිරීමෙන් ලැබෙන පලමු අවාසිය සහ පාඩුව එයයි...

දෙවැන්න පාඩුව තමයි නැවතත් ඔබේ පිලිගැනීම නිසාම ඔබ ගන්නා මතයට කොටු වෙලා මම කියන කියන දේ ඉහටත් උඩින් විශ්වාස කරන්නට පටන් ගැනීම... ඒ නිසාම බැරිවෙලාවත් මම ආර්ය පුද්ගලයෙක් නොවේ නම් ධර්මය ලෙසින් පවසන්නේ අධර්මය නිසාම ඔබත් නොදැනුවත්වම ඔබගේ මග නොමග වී අවසානයි.

දැන් පේනවනේ නුසුදුසු ප්‍රශ්ණ අහලා ලැබෙන පිලිතුරු අනුව තීරණ ගන්න ගියාම සිදුවන අවාසිය කුමක්ද කියලා. සැමවිටම තමන්ට මූලිකත්වය දෙන්න... තමන්ව මේ සසර ගමනින් මුදවාගන්නට නම් නිකරුනේ අන් අයට ඔය වටිනා මිනිස් ජීවිතය බිලි නොදී යම් බුද්ධි මට්ටමක් තිබෙනවා නම් ඒ මට්ටමින් විමසා තමන්ව මේ සසර කතරින් බේරාගැනීම තමන්ගේ යුතුකමක් වගකීමක් මිස අන්කවරෙකුගේවත් වගකීමක් හෝ යුතුකමක් නොවේ. 

අපි පිලිගත්ත නොගත්ත කියලා ඇත්ත වෙනස් වෙන්නේ නෑ... ඔබ ඔබටම උරුම වූ සිතීමේ හැකියාවක් ඇති මිනිසත් බව ලබාගෙන තිබෙනවා... ඒ නිසාම ඔබ එය පාවිච්චි කොට තමන්ට යහපත උදා කරගැනීමට දක්ෂ විය යුතුයි.

ඔබ තවත් අයෙකුගෙන් "ඔබ මග ඵල ලාභියෙක්ද? ඔබ සෝවාන්ද? ඔබ අරිහත්ද? ඔබ බුදු වෙලාද?" ආදී දේ අසන්නට මත්තෙන් "මේ ධර්මය මෙසේයි කියන්නට ඔබට ඇති සුදුසුකම කුමක්ද?" යැයි විමසන්නට මත්තෙන් කියන්නේ මොකක්ද කියලා තම තම නැණ පමණින් විමසන්නට පුරුදු වීම සුදුසුයි.

මන්ද හැමෝම කියනවා මේ "නිවන් මගයි" කියලා... බුදු බණ කියලා රාගය, ද්වේශ, මෝහය වපුරන දේශනාත් තියෙනවා... දැන් ඒ නිවන් මගද ඒ බුදු බණද කියලා තෝරගන්නේ ඔබ අසන පැනය හෙවත් "ඔබ මාර්ග ඵල ලාබියෙක්ද? ඔබට ඇති සුදුසුකම කුමක්ද?" ආදී ගැටලු වලට ලැබෙන පිලිතුර අනුව නම් ඔබේ මනසින් ඔබේ බුද්ධිමත්භාවයෙන් ඔබේ සිතීමේ හැකියාවෙන් ඇති ඵලය කුමක්ද?

නුවණින් විමසා තීරණය නොගෙන මතුපිට කරුණු කාරණා තුලින් විමසන්නට යොමුවනවා නම් එයින් ලැබිය හැකි ඵලයක් නැති බව තම තම නැණ පමණින් වටහාගැනීම තමන්ට යහපත උදාකරගැනීමට හේතු වේවි.

ඒ නිසා කව්ද කින්ද මන්ද ආදී සුදුසුකම් විමසන්න මත්තෙන් කියන්නේ මොකක්ද කියලා විමසා බලන්න... එයට තමන්ගේම නුවණ යොදාගෙන නුවණින් විමසන්න... ඒ කියන දේ තමන්ට යොදාගෙන විමසන්න... ඒ දේවල් ප්‍රායෝගිකද මේ කියන මාර්ගයේ ගියොත් මේ විදියට හිතුවොත් යම් රාගයක්, ද්වේශයක්, මෝහයක් තිබෙනවා නම් එය අඩු වෙනවද කියලා නුවණින් විමසා බලන්න...

එය අසා, දරා, භාවිතා කර බහුලව භාවිතා කර ලැබෙන අත්දැකීම වටහාගන්නට නුවණ මෙහෙයවන්න උත්සාහ කරන්න... එවිට තමන්ට වැටහේවි ඉස්සර මට මෙච්චර ආශාවන් තිබුණා ඒත් දැන් එහෙම නෑනේ... ඉස්සර මට මෙච්චර තරහා ගියා ඒත් දැන් එහෙම නෑනේ... ඒ අඩුවූ පමණින් මට කොතරම් සැනසීමක් ලැබිලා තියනවාද කියලා තමන්ටම වැටහෙන මොහොතක් ලැබේවි... එවිට සොයා බලන්න කුමක් අනුගමනයෙන්ද එය ලැබුනේ කියලා... එය කියවා ගත්ත ධර්ම කරුණක්ද අසාගත් දේශනයක තිබුන ධර්ම කරුණක්ද ආදිය විමසා බලා ... ඉන්පසුව ඒය කිව්වේ කව්ද ලිව්වේ කව්ද කියලා ඕනෑ නම් සොයා බලන්න...

ඔබ මුලින්ම විමසා "සුදුසුකම් ලබා ඇති  හෝ ලබා ඇති මාර්ග ඵලය" ආදී  "සහතිකය" අනුව නම් ඒ මාර්ගය තෝරාගන්නවාද නැත්ද යන්න නිගමනය කරන්නේ ඔබ සෑහෙන අමාරුවක වැටෙනවා නොඅනුමානයි... සැබෑ බෞද්ධයා යනු අන්ධ භක්තිකයෙක් නොවන බව ප්‍රඥාවන්තව නුවණින් දකින්න!