තමන්ටම වල නොකපා ගැනීම පිණිස! (01 කොටස)

සැප්තැම්බර් 2017 කතු වැකිය

තමන්ටම වල නොකපා ගැනීම පිණිස! (01 කොටස)

සටහනේ අන්තර්ගතය

ශාසනය දුලභයි... එය අවසන්ව යයි... එවන්වූ මොහොතක ඔබෙන් ඔබට යුතුකම ඉටු වෙනවදැයි විමසා බලන්නට අංශු මාත්‍ර තරමින් හෝ උපකාරයක්ම වෙත්වා!!! මෑත කාලයේ සිදුවූ අවස්ථා කිහිපයක්ම කයේ හිරිගඬු මතුවන්නට තරම් සැබැවින්ම බියකරු විය. ඒ බිය බොහෝ දෙනෙකුට නොදැනෙන්නේ නොහැඟෙන්නේ මේ දහමේ දුර්ලභත්වය තවමත් වටහාගෙන නොමැතිකම නිසාවෙන් වන්නටද පුළුවන... එසේත් නොමැති නම් වටහාගත්තද සිහියක් නැතිකම නිසාවෙන් මාන්නය ප්‍රමුඛ වී ඇති නිසාවෙන්ද විය හැකිය...

සත්ධර්මය ලෙසින් ලෝකයේ පැවැත්ම පිණිසම හේතුවන බොහෝ දෑ පවසන ගිහි පැවදි පිරිස් ඇත... එවන් දේ පසෙකලා නිවන පිණිසම ලෝකෝත්තර මාර්ගයම විවර කරමින් රාගයෙන් මිදෙන්නට ද්වේශයෙන් මිදෙන්නට මෝහයෙන් මිදෙන්නට සත්ධර්මයක් පෙන්වා දෙන්නවුන්ගේ අංශු මාත්‍ර හෝ අඩුපාඩු දකමින්... දේශනා ස්වරෑපයන්ගේ අඩුපාඩු දකිමින් දේශනා වල වචන භාවිතයේ අඩුපාඩු දකිමින් මේ කරගන්නට විනාශයේ තරම අංශු මාත්‍රයක් හෝ වැටහෙන්නෝ ඒ මහා විනාශයෙන් ගැලවීමට මොහොතක් සිතත්වා!

දහම පෙන්වා දෙන්නට ගලපා දෙන උපමා තුල උදාහරණ තුල සමහර විට අඩුපාඩු තියෙනවා විය හැකියි... ලෝකෝත්තර දහමක් 100%ක්ම ලෝකයේ ඇති උපමාවක් තුල ගැබ්වෙනවා යැයි සිතීමම දහම අවතක්සේරු කිරීමකි... ලෝකයේ උපමාවක් තුලින් පෙන්වා දෙන්නට උත්සාහ කරන්නේ ඒ අදහස ගලපාගෙන ලෝකයෙන් එතෙර වන මාර්ගය විවර කරගැනීමටය... ප්‍රඥාවන්තයෝ උපමාවෙන් උදාහරණයෙන් මේ ගැඹුරු දහම තෝරාගන්නා බව බුදු හිමියන් පෙන්වා දුන්නේ නිකටම නොවේ...

බාහිර කරුණු වලින් තමන්ට ඇති දැනුමේ මට්ටමකින් බොහෝ දෑ මනිමින් මේ කරගන්නා විනාශය සුළු පටු නොවේ... මෙවන් විනාශකාරී යුගයක අනතුරු බුදු හිමියන් පෙන්වා අප්‍රමාදීවීමම යෙහෙකියි බුදු හිමියන් පෙන්වා දුන්නේ නිකමට නොවන බව දැනෙන්නේ ධර්මය තුලම සිටිනවා යැයි සිතන බොහෝ දෙනෙක් තුල සිදුවන මේ අඩුපාඩුව නිසාමයි...

තමන් ධර්මය වටහාගත්ත පමණින් 1%ක් තරමින් හෝ රාගයෙන් මිදෙන්නට ද්වේශයෙන් මිදෙන්නට මෝහයෙන් මිදෙන්නට වදනක් හෝ පිටවන වාරයක් පාසා එය කව්රුන් කිව්වත් කෙසේ කිව්වත් ඒ කෙරෙහිම පැහැදෙන්නේ එවැනි දෙයකට වදනකින් හෝ ලැබෙන රුකුල දුර්ලභ නිසාමයි...  ඉතින් එවන්වූ යුගයක මෙසේ 1%කින් වන අඩුපාඩුවක්ම ඉස්මතු කරමින් නිවන පිණිස වදනකින් පවා උපකාරයක් වන ගිහි පැවැදි දෙපාර්ශවයට කරන්නාවූ සියලු ගැරහීම් තුලින් පාඩුව ඇතිවන්නේ තමන්ටම බව නිති සිහි තබාගැනීම ප්‍රඥාවන්තකමයි... මන්ද අංශු මාත්‍ර තරමින් හෝ අතහැරීමට ලක්ව ඇත්තාවූ ඔවුන් ඕනෑම මොහොතක අනුකම්පාවෙන් කරන්නාවූ දේශනාවන්ද නතර කර තම තමන්ගේ නිවීමම ප්‍රමුඛ කර නිහඬ වනු ඇත...

සෝතාපන්න ආර්ය ශ්‍රාවකයන් නැවත මිනිස් ලෝකයේ උපදින්නට හේතු ඇත... ඔවුන් විටෙක භාවනා යෝගීව සිටින විට තමන්ට අවබෝධ වූ සත්ධර්මය මතුවී ආ විට භාවනාව තුලින්මයි සෝතාපන්න වන්නේ යැයි දේශනා කල හැකියි... එය ප්‍රත්‍යවේක්ෂා ඥානයන්ගේ අඩු බව නිසාත් දේශනා හැකියාවේ ඇති අඩු ලුහුඬුකම් නිසාවෙන් පවසන්නාවූ දෙයක් විනා ඒ තුලින් ඔවුන්ගේ ආර්ය භාවය මැනීමට කිසිවෙකුටත් නොහැකිය.... 

විටෙක තමන්ගේ මාර්ග ඵල ප්‍රකාශ කරන්නට හැකියි... එය ලෝක අනුකම්පාවෙන් කරනවා විය හැකියි... එය බාහිරයෙන් බලා දත්තයන් තුලින් නිගමනයන්ට පත්ව ආර්ය ශ්‍රාවකයන් එසේ කරන්නේ නැතැයි මැනගෙන තමන්ට ලබාගත හැකි දුර්ලභ අවස්ථාවක් මඟ හරවාගන්නවා විය හැකිය...

තමන් කියන ආකාරයෙන් දහම නොකියන නිසාවෙන් හෝ වේවා තමන් භාවිතා කරන පද යොදා නොගන්නා නිසා හෝ වේවා ධර්මය පෙන්වා දෙන ඉරියව් විලාශය නිසාවෙන් හෝ වේවා ඇඳුම් නිසාවෙන් හෝ වේවා ඇවිදින ක්‍රමයක් නිසාවෙන් හෝ වේවා තමන්ට ලබාගත හැකි අති දුර්ලභ අවස්ථාවන් මඟ හරවා ගන්නා ආකාරය දැකීමද ඇඟ කිලිපොලා යයි...

අනතුර හඳුනාගෙන ධර්මයට ඉඩ දෙන්නට තමන් විසින් සිතා බැලිය යුතු තවත් බොහෝ දෑ සහිත ඉතිරි කොටස ලබන මස කතුවැකිය තුලින් කියවා බලන්න!