මැන මැන උස්සා ගැනීම?

දෙසැම්බර් 2012 කතු වැකිය

මැන මැන උස්සා ගැනීම?

සටහනේ අන්තර්ගතය

ඔබ අන් අයව බාහිර ස්වරූපයෙන් මනිනවද? නැතිනම් ඔබව කව්රුන් හෝ බාහිර ස්වරූපයෙන් මැන තිබෙනවාද? මඳක් විමසා බලමු.

බාහිර ස්වරූපයෙන් යමෙක්ව මනිනවා නම් එහෙම කරන්නේ අවිද්‍යාවෙන් යුක්ත අනුවණ පුද්ගලයින්ම තමයි... ප්‍රඥාවන්ත බුද්ධිමත් පුද්ගලයින් කවදාවත් එසේ කරන්නේ නෑ.

ඉතින් කෙටියෙන් කියනවා නම් යම් මොහොතක ඔබට හිතුණොත් ඔබව ඔබේ බාහිර ස්වරූපයෙන් යම් අයෙකු මැනගෙන ඔබව විවේචනය කරනවාය අපවාද උපවාද අපහාස උපහාස කරනවාය කියලා ඔබට සරලවම කරන්නට තියෙන්නේ මහා ප්‍රඥායාණන්වහන්සේගේ වදන් සිහිපත් කරගෙන එහි අදහස තමන්ට ගලපා ගන්නටයි.

"පාපිස්නාවක් වගේ වෙන්න... දිරාපත් වූ දර කෝටුවක් වගේ වෙන්න...  පයට පෑගෙන දූවිල්ලක් වගේ වෙන්න..." මේ වගේ කොච්චර නම් ඔවදන් උන්වහන්සේ විසින් අපට දීලා තියෙනවද?  ඉතින් ඒ වගේ දේවල් තුලින් "මම" කියන ස්වභාවයේ යථාර්ථය වටහාගන්නට උත්සාහ ගත යුතුයි.  එසේ කිරීම තුලින් යම් මොහොතක ඔබට "මම" යන්නෙහි සැබෑ වටිනාකමක් නැති බව තෝරාගන්නට හැකිවේවි...

ඉතින් මායාවක් රැකගන්නට එයට ප්‍රශංසා ලබාදෙමින් වර්ණනා සහ යහපත් දෑ පමණක් ලබාදෙන්නට එතෙක් කාලයක් යම් බලාපොරොත්තුවක් තිබුනේ නම් එය නැතිවෙලා යාවි.  ඒ බලාපොරොත්තුව නැතිවෙනවා කියන්නේ ඔබ විසින් යම් පුද්ගලයෙක් ඔබගේ බාහිර ස්වරූපය නිසාවෙන් මොනයම් හෝ ආකාරයේ නින්දාවක්, අපහාසයක්, උපහාසයක් කලාය කියලා තැවීමක්, සෝකයක්, දුකක්, කම්පාවක්, අසහනයක් ආදී ඒ ඔස්සේ හටගන්නාවූ දුක් රැසක්ම නැතිකරගන්නට හැකිවෙනවා කියන එකයි.

බාහිර ස්වරූපය ඔස්සේ මැනගෙන විවේචනය කරනවා නම්...

ඒ වගේම තමයි ඔබේ සිත, කය, වචනය භාවිතා කරලා යම් යම් පුද්ගලයින්ව බාහිර ස්වරූපය ඔස්සේ මැනගෙන විවේචනය කරනවා නම් යම් යම් නින්දා, අපහාස, උපහාස ආදී දෑ කරන්නට සිතෙනවා නම් යෙදෙනවා නම් ඔන්න ඔබට අවස්ථාව තියෙනවා තමන් අනුණවනයෙක් වෙනවද නැතිනම් ප්‍රඥාවන්තයෙක් වෙනවද කියලා සිතලා බලන්නට.  මුලින්ම කිව්වා වගේ ප්‍රඥාවන්තයින් එසේ කවදාවත් කරන්නේ නෑ.  යම් වචනයකින් හෝ වේවා යම් බාහිර වූ ස්වරූපයකින් හෝ වේවා අන් අයව මනින්නට දොස් කියන්නට කටයුතු කරන්නේ නෑ.  ඉතින් තීරණය ඔබ සතුයි.  ඇයි නිකම් දුක් විදින්නේ නේද?  ඔබ තවත් කෙනෙකුව එසේ මැනගන්නට මනස වෙහෙස කරනවා කියන්නේම දුකක්.  මන්ද එයින් ඔබටවත් ඒ පුද්ගලයාටවත් සමාජයටවත් ලැබෙන සෙතක් නැති නිසාමයි.

ඉතින් මේ අවස්ථා දෙකේදීම ඔබ විසින් නියමිත මාත්‍රාවෙන් දහම් ඖෂධය යොදාගෙන ඔබගේ සිත සුවපත් කරගන්නට උත්සාහ දැරීමම ප්‍රඥාවන්තකමක් නුවණැතිකමක් බුද්ධිමත්කමක් වෙනවා.

ඉතින් කෙටියෙන් කියනවා නම් සත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තු ලෙසින් ඔබ විසින් බාහිර ලෝකයේ අත්දකින්නා වූ දෑ ඔබේ මනස යොදාගෙන නොයෙක් ආකාරයෙන් මැනගන්නේ ඔබේ දැක්මට අනුවමයි.  ගැටලුව තමයි ඔබේ දැක්ම නිවැරදිද යන්න?  මම හැමතිස්සේම කියනවා වගේ සිතට එකගව නෙවේ ධර්මයට එකගව කටයුතු කරන්නට උත්සාහ කරනවා නම් මේ ගැටලු කිසිවක් නැත.  මන්ද ඔබේ දැක්ම ඔබේ සිත සැමවිටම ධර්මයට එකග නොවේ නම් එය නොගැලපෙන නුසුදුසු ඔබටත් අන් අයටත් සමාජයටත් හානියක්ම ගෙන දෙන විනාශයක්ම ගෙන දෙන අයහපතක්ම ගෙන දෙන දෙයක් බවට හේතුවන නිසාවෙනි.

ඉතින් තම තමන්ගේ මතයන්ට අනුව දැක්මට අනුව මැන මැන උස්සාගැනීමට මත්තෙන් හෝ වේවා එසේ මනින්නවුන්ගේ ගොදුරක් බවට පත්වූ අවස්ථාවක වේවා ඒ සියලු දුක් නැතිකරගැනීමට එකම ක්‍රමය, බෙහෙත ඇත්තේ ධර්මය තුලම පමණි.

අවසාන වශයෙන් කියනවා නම් මුළු ලෝකයම පන්සලක් වගේ වෙලා බොහෝම සාමකාමී පිරිසක් එහි සිටීවි යැයි හෝ එසේ කරන්නට හැකියි කියලා බලාපොරොත්තු නොවන්න!  ඔබේ මනස සාමකාමී කරගෙන සාමයෙන් පුරවාගෙන ඔබවම පන්සලක් බවට පත්කරගන්නට සැමවිටම උත්සාහ දරන්න.  අන්න එවිට ඔබට හැකියි අන් අයටත් සුවයක් සැබෑ සතුටක් සැනසීමක් ගෙන්දෙන්නා වූ පුද්ගලයෙක් බවට පත්වෙන්නට!!!

එහෙනම් ඉතින් මේ සියලු දේ නිසි ලෙසින් කරගැනීමට නිසි පරිදි නිසි අවස්ථාවේ සත්ධර්මය මෙනෙහි වී එය භාවිතා කොට නිවී සැනසීම අත්කරගැනීමට තෙරුවණේ ආශිර්වාදයත් ඔබ ඇසුරු කරන්නා වූ දෙවි දේවතාවුන්ගේ ආශිර්වාදයත් ලැබේවායි මෙත් සිතින් නිති පතමි!!!