අසූචි තුලමද ජීවිතේ?

ජූලි 2011 කතු වැකිය

අසූචි තුලමද ජීවිතේ?

සටහනේ අන්තර්ගතය

පෙර කතුවැකිය තුලින් අජාන් බ්‍ර‍හ්මවංශ හිමියන් විසින් රචිත අසූචි අතහැර ගන්නට නොහැකිවූ පණුවාගේ කතාව කියවන්නට යෙදුනා. මතක ඇතිනේ නේද? මෙවර කතු වැකිය තුලින් අපේ ජීවිතත් ඒ පණුවා වගේදැයි විමසා බලන්නට යොමුවෙනවා.

ඒ කථාවේ අසූචි රාග, ද්වේශ, මෝහ නම් වූ සැබෑ සතුට අහිමි කර ඇති කෙලෙස් වලට සම කරන්නට හැකියි... බොහෝ පිරිසක් මේ සත්ධර්මය බෙදාගන්නට උත්සාහ කරන සෑම විටම අර කථාවේ පණුවා මෙන් ඒ අසූචි තුලම තව තවත් බැසගෙන ඒ තුලටම ගිලා බසින්නට කටයුතු කරනවා.   හරියට ඒ කතාවේ දෙවියන් විසින් පණුවාව බේරගන්නට උත්සාහ කලත් අසූචි නැති තැන මොන හොඳක්දැයි සිතූ පණුවා සේමයි. 

සත්ධර්මය බෙදා ගන්නා පුද්ගලයා අනුව හෝ වෙනත් බාහිර කරුණු කාරණා මුල්කරගෙන ඒ කියන කරුණු පිළිබදව නොවිමසාම අසූචි සුවඳයි රසයි හොඳයි වටිනවා කියලා ගත්ත තමන්ගේ මතයේම එල්ලීගෙන සිටින පණුවා මෙන්, තම තම මතයන්ටම ඇලී එයට විරුද්ධව කරුණු නැගෙන සෑම විටම ද්වේශයෙන් ගැටෙන්නට කටයුතු කරමින් මෝහයෙන් මුලාවී ඇති අයුරු දකින්නට ලැබීම සැබෑවටම අනුකම්පාසහගතයි.

එසේ වූ විට කථාවේ දෙවියාට මෙන් වුවමනාව තිබුණද කල හැකි උපකාරයක් නැත... සත්ධර්මය බලෙන් දිය නොහැකිය... එය තම තමන් විසින්ම වටහාගෙන අවබෝධයෙන් යුතුව තෝරා බේරාගත යුත්තකි.

ඉතින් පෙර කතු වැකියේ කථාවේ මෙන් කිසිවෙකුටත් කිසිවෙකුව බලහත්කාරයෙන් සුවයට පත්කිරීමට සැප ලගාකරදී සැබෑ සතුට හිමි කරදීමට නොහැකිය.  එය තමන් විසින් අවබෝධයෙන් යුතුව පත්විය යුත්තකි.  අන්න ඒ නිසාම ඔබටත් මටත් මේ කථාව තුලින් ගත හැකි හරය කෙටියෙන් විමසා බලමු. 

දෙවියන් දිව්‍ය ලෝකය වර්ණනා කලා සේ සම්මා සම්බුදු පියාණන්වහන්සේලා සැබෑ සතුටත් සැබෑ සතුට ලැබිය හැකි මාර්ගයත් පෙන්වා දුන්නා.  ඒ වගේම එය වටහාගත්ත පිරිස් විසිනුත් එයම සිදු කර දෙනවා.  ඒත් ඒ පෙන්වා දෙන දේ පිළිබදව තම තම නැණ පමණින් විමසා වටහාගැනීමත්, එය අවබෝධ කරගෙන මාර්ගය අනුගමන කොට සැබෑ සතුට හිමි කරගැනීමත් තම තමන්ටම අයත් කාර්යයක් බව සිහි තබා ගැනීම වැදගත්වෙනවා.

කථාවේ දෙවියන්ට මෙන් තවත් අයෙකුව කරදරයෙන් මුදවාගැනීම අනාථ සසරෙන් මුදවාගැනීමට අවංක චේතනාවක් ඔබටත් පහල විය හැකියි. එහෙත් තම තමන්ට කල හැකි සීමාව හදුනාගැනීම වැදගත් වෙනවා. කරුණු හරි හැටි අවබෝධයෙන් තොරව සත්ධර්මය බලහත්කාරයෙන් අන් අයට පොවන්නට උත්සාහ කරන අයෙක් නොවන්නට ධර්මය තුලින්ම අවබෝධය ලැබ කටයුතු කිරීම වැදගත් වෙනවා. 

සියලු ලෝක සත්වයන්ට මහා අනුකම්පාවක් කරුණාවක් තිබූනද ඔවුන්ව අනාථ සසර දුකෙන් මුදවාගන්නට සම්මා සම්බුදු පියාණන්වහන්සේලාටවත් නොහැකි වූ බව සිහිතබාගෙන කටයුතු කරගැනීම බොහෝ දෙනෙකුට යහපතක්ම උදා වෙනවා. 

කථාවේ පණුවා අසූචි හොදයි සුවයි සැපයි වටිනවා කියලා භාරගත්ත ඒ මතයේම ඉන්න කෙනෙක්... ඒ නිසා ඒ මතයට බාහිරව එයට විරුද්ධව දෙවියන් විසින් සුවයි සැපයි වටිනවා කියලා පෙන්වූ දෙය පිළිබදව නොවිමසාම එකවරම ඉවත දමන්නට පණුවා කටයුතු කලා... ඒ වගේම යමෙක් යම් කරුණක් සත්ධර්මය ලෙසින් පෙන්වා දෙන්නේ නම් එය සැබෑ සතුට හිමි කරගැනීමට උපකාර වන්නේ යැයි කියන්නේ නම් එය එකවරම ප්‍රතික්ෂේප කොට ඉවත් නොකර එකවරම හිස්මුදුනින් පිලිනොගෙන තම තම නැණ පමණින් විමසා බලන්නට උත්සාහ ගැනීම වැදගත් වෙනවා... නැතිනම් කතාවේ පණුවාට වෙචච් දේ වේවි.

ඉතින් මේ කතු වැකිය තුලින්, තව තවත් අසූචි තුලට කිඳා බසිනා පණුවෙක් හෝ තමන්ගේ සීමාව නොදැක අනවබෝධයෙන් යුතුව බලහත්කාරයෙන් පණුවන්ව බේරගන්නට උත්සාහ කරන දෙවියෙක් හෝ නොවන්නට තම තම නැණ පමණින් විමසා වටහාගැනීමට උපකාර වන කරුණු කාරණා මාත්‍රයක් හෝ ගැබ්වී ඇතැයි සිතමි!

තම තමන්ගේ පමණ දැන අන්තයන්ට පත්නොවී අත්හැරී මිදී නොඇල්මේ සැනසීම හිමි කරගන්නා ක්‍රමය අනුගමනය කරන්නට බුද්ධිමත් සැබෑ මිනිසුන් වන ඔබ සැමට ඉක්මනින්ම හැකිවේවායි මෙත් සිතින් සෙත් පතමි!