තැන තැන හා වී හැදෙන තණ්හාව

  16 පෙබරවාරි 2017

බුදු හිමියන් බෝධිසත්ව අවධියේ මෙන්න මේ කියන පරීක්ෂණය කලා... කාම රාගය අත්දැක්කා... රූප රාගය අත්දැක්කා... අරූප රාගය අත්දැක්කා... ගුරුවරුන් හමුවේ ලැබුවේ ඒ අත්දැකීමමයි... බෝධිසත්වයන් ප්‍රඥාවන්තව විමර්ශණය කරත්දි දැනුනා මේ නම් පැවැත්ම නැවතුණා නෙවෙනේ කියලා... සියුම් වූ සුව සහිත වූ ප්‍රණීත වූ ආධ්‍යාත්මික වූ බහුතරයකට නොදැක්ක හැකි ආකාරයේ පැවැත්මක්මයි කියන අවබෝධය උන්වහන්සේට ලැබුණා... ඒ නිසා තනිවම ඇත්ත හොයන්න තීරණය කලා...

තමන් වහන්සේ තනිවම පෙර නොඇසූ විරූ දහමක් අවබෝධයෙන් බුද්ධත්වයට පත්වුණා... බුද්ධත්වයට පත්වී පෙන්වා දුන්න දහම කාම භවය, රූප භවය, අරූප භවය කියන් තුන් භවයන්ගේ සැකස්ම හදන ආකාරයමයි පෙන්වා දුන්නේ... කාම රාගය, රූප රාගය, අරූප රාගය ගැනමයි පෙන්වා දුන්නේ...

කාම තණ්හාව පෙන්වන දහම

රූපයේ ඇත්ත නොදන්නා විට රූපය විඳින්න පුළුවන් කියන ස්වභාවය ඇතිවෙනවා... සියුම් බව ඉක්මවා ගිහින් ඝණ දෙයක්නේ කියලා සංඥාවක් එනවා... විඳින්න දෙයක් බාහිරයේ තියෙනවානේ කියලා සංඥාවක් එනවා... එය විඳින්නට හැකි ඝණ ස්වභාවයක් අභ්‍යන්තරවත් තියෙනවානේ කියලත් දැනෙනවා... ඒ සංඥා විපරීතය නිසාම විඳින්න යමක් සකසාගෙන විඳින්නට හැකියැයි ඇතිවන විශ්වාසය නිසාම කාමයට හා වෙනවා...  අන්න ඒ කාමයට හා වීමෙන්, සම්බන්ධ වීමෙන් ඇතිවෙන කාම රාගය හෙවත් කාම තණ්හාවමයි පෙන්වා දුන්නේ...

භව තණ්හාව පෙන්වන දහම

රූපයේ ඇත්ත නොදන්නා විට රූපයට හා වීමෙන්, සම්බන්ධ වීමෙන් ඇතිවෙන රූප තණ්හාව හෙවත් භව තණ්හාවමයි පෙන්වා දුන්නේ... මෙතැනදී රූපයේ ඇත්ත නොදන්නාකම නිසා කාම ලෝකයේ පංච කාම රූප ස්වභාවයන් පමණක් ප්‍රතික්ෂේප වීමක් සිදුවෙනවා... යටපත් වෙනවා... ඒ නිසාම රූප රාගය නැවත නැගී සිටිනවා... රූප භවයට පත්වෙනවා... රූප රාගය, රූප තණ්හාව හෙවත් භව තණ්හාව සකස් වෙනවා...

විභව තණ්හාව පෙන්වන දහම

රූපයේ ඇත්ත නොදන්නා විට අරූපයට හා වීමෙන්, සම්බන්ධ වීමෙන් ඇතිවෙන අරූප  තණ්හාව හෙවත් විභව තණ්හාවමයි පෙන්වා දුන්නේ... සියුම් වූ රූප රාගයේ සකස්වූ ඒ රූපයන්ද අතහැරීමෙන්... ප්‍රතික්ෂේප වීමෙන් පෙර ආකාරයටම අරූපයට බැඳෙනවා... කාම රූප වේවා... රූප භවයේ සියුම්වූ රූප වේවා යටපත් වීමක්... ප්‍රතික්ෂේප වීමක්මයි මේ ස්වභාවයේදී සකස් වෙන්නේ... නැවතත් අරූපය නම් වූ අතිසියුම් රූප ස්වභාවයක්මයි අල්ලාගෙන හා වී සිටින්නේ.. පවතින්නට ඕනෑ නැති බවක්මයි දැනෙන්නේ... විභයක් සකස් වෙනවා... විභව තණ්හාව ලෙසින් හැදින්වෙනවා...

මෙන්න මේ භව, විභව තණ්හාව හෙවත් රූප අරූප භවයන් සැකසීම අනේඤාභි සංකාර ලෙසින් පෙන්වුවා...

මෙන්න මේ රූපයේ ඇත්ත නොදකින මොහොතක් පාසා මේ ආකාරයේ විවිධ වූ භවයන් මුල්කරගත් ආශ්වාදයමයි සකස් වෙන්නේ... අන්න ඒ නිසා පෙර නොඇසූ විරූ ආශ්වාදය හඳුනාගත හැකි දහමක්මයි බුදු හිමියන් පෙන්වා දුන්නේ.

ඉතින් මෙන්න මේ විදියට නන් අයුරින් බෙදා පෙන්වමින් පැවැත්ම සකස් වන ආකාරයමයි පෙන්වා දුන්නේ... අතින් අපි මොකද කරන්නේ? විමසා බලමු...